NextWatch

ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් Voice of Paris 40 puls

පසුගිය දිනෙක ප්‍රංශයේ Voice of Paris 40 puls නමින් තරගයක් සංවිධාන වී තිබුණා. එය සංවිධානය කර තිබුණේ Sl Raj Music Paris ආයතනය විසින්. මෙම ආයතනය ප්‍රංශයේ පිහිටුවා තිබෙන්නේ මනෝරාජ් සිල්වා සහ මනිෂ ජයවර්ධන විසින්. අපේම ශ්‍රී ලාංකිකයින් විදෙස්ගතව සිදු කරන මෙම ක්‍රියාවන් ගැන කතා කළ යුතුයි කියලා හිතුණා. ඒ නිසා අපි මේ කතා බහ කළේ Sl Raj Music Paris ආයතනයේ හිමිකරුවන් වන මනෝජ් සිල්වා සහ මනිෂ ජයවර්ධන සමඟ

මුලින්ම අපිට ඔය දෙන්නා ගැන විස්තර කරොත්
මම මනිෂ ජයවර්ධන. මම ප්‍රංශයට ආවේ 2019 වර්ෂයේ දී. දැන් අවුරුදු 6ක කාලයක් ප්‍රංශයේ ජිවත් වෙනවා. ලංකාවේ දී මම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලී හිටියේ. උසස් අධ්‍යපාන කටයුතු වෙනුවෙන් ප්‍රංශයට ආවේ. මම තාමත් මෙහෙ අධ්‍යපානය ලබනවා. ලංකාවේදී මම විනෝදාංශයක් විදියට DJ කළා. ප්‍රංශයේ ත් මම DJ කරනවා. මනී Jay කිව්වම ප්‍රංශයේ ඉන්න බොහෝ දෙනෙක් මාව දන්නවා.

මම මනෝරාජ් සිල්වා. මම ප්‍රංශයට ආවේ 2012. මේ වෙද්දී අවුරුදු 14ක කාලයක් ප්‍රංශයේ ජිවත් වෙනවා. ප්‍රංශයේ මම හෝටල් ක්ෂේත්‍රයේ චෙෆ් කෙනෙක් විදියට වැඩ කරන්නනේ. ඒ අතර මාගේම සංගීත කණ්ඩායමක් වන බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සමඟ සංගීත කටයුතු වල නිරත වෙනවා. මම ලංකාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුර්ය වාදක අංශයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදියට අවුරුදු 9ක කාලයක් රාජකාරි කටයුතු කර තිබෙනවා.

ප්‍රංශයට ආවට පස්සේ ද මේ මිතුමදම ඇති වුණේ
ඔව්. ප්‍රංශයේ දී තමයි අපි දෙන්නගේ හමුවීම සිදු වුණේ. ඒක ඇත්තටම හොඳ හමුවීමක්. එකම නගරයේ සහ එකම පාසලක ඉගෙන ගත්ත දෙන්නෙක්. ඒනිසා මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක් විදියට තමයි අපි දැන් වැඩ කරන්නේ.

එතකොට ලංකාවේ කොයි පළාතේ ද ජිවත් වුණේ පාසල් ගියේ කොහෙද
අපි දෙන්නම පානදුර නගරයේ. දෙන්නම ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ. මේ වෙද්දීත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීත අංශය වෙනුවෙන් සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. අපි විශ්වාස කරනවා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ගත්ත දැනුම සහ අත්දැකීම් අද අපේ ගමනට ශක්තියක් වෙනවා කියලා.

Sl Raj Music Paris නමින් ආයතනයක් ආරම්භ කරන්න හිතුවේ ඇයි
ප්‍රංශයේ වගේ රටක අපි ආතනයක් පටන් ගනිද්දී නීතිමය පැත්ත පිළිවෙලකට තියෙන්න ඕනේ. බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සහ මනී Jay කියන නම හැමෝම දන්නා බ්‍රෑන්ඩ් එකක් වුණා. ඒ හරහා අපි වැඩ කරගෙන යද්දී අපිට කම්පැනි එකක අවශ්‍යතාවක් මතු වුණා. ඒ හරහා තමයි අපි 2022 දී Sl Raj Music Paris නමින් ආයතනයක් පටන් ගත්තේ.

මේ හරහා මොන වගේ ඉවෙන්ට්ස් ද සංවිධානය වුණේ
මේ වෙද්දී අපි ඉවෙන්ට්ස් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මුලින්ම කළේ රෝයල් ඩිනර් ඩාන්ස් ෂෝ එක. ඒක ප්‍රංශයේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට නැවුම් අත්දැකීමක් වුණා. ඊට පස්සේ ලංකාවේ ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරා සමඟ 2023 දී 2025 දී කෝකිල පවන් සමඟ වැලන්ටයින් ඩිනර් ඩාන්ස් ෂෝ එක කළා. ඒ එකක්ම බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සහ මනී J 2024 දී අපේ රන්ජන් රාමනායක සහ චිත්‍රාල් සෝමපාලට සංගීතයෙන් සහයෝගය ලබා දුන්නා. ග්ලෝබල් අවුරුදු කුමරා සහ කුමරිය තරගයක් අපි 2025දී සංවිධාන කළා. අන්තිමට කළේ 2026 දී Voice of Paris 40 puls නමින් තරගයක් සංවිධානය කිරීම. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකත් එක්කම මියුසික් කරපු පරණ අයට සම්මාන උළෙලක් සංවිධාන කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතාම කෙටි කාලයක් තුළ අපිට හැකි වුණා ප්‍රංශයේ ෆොරිනාම් එකත් එක්ක සෘජුව සම්බන්ධ වෙලා ඒ අයගේ සියලුම ඉවෙන්ට් වලට සංගීතය සපයන්නේ Sl Raj Music Paris ආයතනය.

Voice of Paris 40 puls නමින් තරගයක් සංවිධාන කරන්න හිතුවේ ඇයි
අපිට මේ අදහස ආවේ ප්‍රංශයේ ඉන්නවා සංගීතයට ඉතා ආස කරන දක්ෂයින් රැසක්. ඒ අය වෙනුවෙන් වේදිකාවක් තනන්න තමයි අපිට අවශ්‍ය වුණේ.

මේ සඳහා කී දෙනෙක් සහභාගී වුණා ද?
මෙම තරගය අදියර තුනකට අපි සංවිධානය කළේ. මුල් අදියරේ බොහෝ දෙනෙක් එකතු වුණා. එතනින් 25 දෙනෙක් තෝරාගෙන අවසන් අදියරට එතනින් 16 දෙනෙක් තෝරා ගැනීම කළා. ඒ අවසන් 16 දෙනා එක්ක තමයි තරගය තිබුණේ. ඒ 16 දෙනා ලොකු කැපකිරීමක් කළා. මාසයක කාලයක් අපි පුහුණු වීම් කළා.

විනිසුරුවන් විදියට කවුද හිටියේ
අවසන් තරගයට විනිසුරුවන් 4 දෙනෙක් සහභාගී වුණා. එක් කෙනෙක් තමයි රොහාන් ෆොන්සේකා. දීර්ඝ කාලයක් ප්‍රංශයේ ජිවත් වෙන සංගීත ක්ෂේත්‍රය තුළ නිරත අයෙක්. තව කෙනෙක් චමින්ද ලිවේරා. පැරිසියේ තියෙන චායා වයිබ්‍රේෂන් සංගීත කණ්ඩායමේ නියමුවා. අනිත් කෙනා තමයි හැමෝම දන්න සම්පත් නිරෝෂන්. ශ්‍රී ලංකාවේ අති දක්ෂ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක්. ඔහුත් දැන් ප්‍රංශයේ ජිවත් වෙන්නේ. හතරවෙනි කෙනා තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් වන් තරගයේ අවසන් තරු පොකුරේ හිටි තරංග සම්පත්.

ජයග්‍රහණය ලබපු අය ගැනත් කියමු
මෙතනදී ජග්‍රහණය සඳහා දෙනෙකු තේරුවා. ඒ තේරීම කළේ විනිසුරු මඩුල්ලේ වැඩිම ලකුණු ලබා ගත් කෙනාට සහ එදා අවසන් තරගයට පැමිණි අයගෙන් ලැබුණු මනාප අනුව ජනප්‍රිය කිරුළ සම්මානය ලබා දුන්නා. විනිසුරු මඩුල්ලේ වැඩිම ලකුණු ලබා ගත්තේ එස් ජේ මල්ලිකාරාච්චි මහතා ලබා ගත්තා. දෙවන ස්ථානය ගිහාන් අල්විස් මහතා ලබා ගත්තා. තුන්වෙනි ස්ථානය ජනිතා නිලීකා මහත්මිය ලබා ගත්තා. එදා පැමිණි අයගෙන් ලැබුණු මනාප අනුව ජනප්‍රියම කිරුළ දිනා ගත්තේ ජනිතා නීලිකා මහත්මිය.

විදෙස් රටක ඉඳන් රැකියාවක් කරන ගමන් මේ දේවල් කරන්න කාලය තියෙනවද
කාලය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. නමුත් කාලය කොහොමහරි කළමනාකරණය කර ගැනීම හරහා සාර්ථක ඉවෙන්ට්ස් කරන්නට හැකි වීම තමයි Sl Raj Music Paris අපි ලබපු ජයග්‍රහණය. ඒ එක්කම මේ වෙද්දී ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වගේම ප්‍රංශ වැසියන් පවා අපි එක්ක එකතුවෙලා ඉන්නවා.එයත් අපි ලබපු විශාල ජයග්‍රහණයක්.

මේ ගමන මේ විදියට එන්න සහයෝගය දුන්නු අය ඇති
අනිවාර්යෙන්ම. අපි මේ Sl Raj Music Paris නමින් ආයතනය පටන් ගත්තු දවසේ ඉඳන් අපි එක්ක ඉන්න අපේම සහෝදරයින් පිරිසක් ඉන්නවා. බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයින්. නම් විදියට කියන්න අමාරුයි. මොකද වචනයකින් හරි අපිට දුන්නු ශක්තිය නිසා තමයි අද අපි මෙතන ඉන්නේ.ඒ හැමෝටම කෘතවේදී වෙන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

Exit mobile version