ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය වේදිකාවකදී දිගහැරෙන පරම්පරා ප්‍රසංගය ඉතිහාසගත සංස්කෘතික උත්සවයක් ලෙස ලාංකීය කලා ඉතිහාසයට එක්වෙන්නේ මාර්තු 04 සහ 05 යන දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී යි.
සවස 6.00 පමණ ආරම්භ වන පරම්පරා සංස්කෘතික මහෝත්සවයේ නිර්මාතෘ ලෙස අබිසෙස් ලබන්නේ ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනියක් සහ භරත නාට්‍යම් ගැන සිංහලෙන් ලියූ ප්‍රථම සහ එකම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලියූ ප්‍රීති ගනේගොඩයි. ප්‍රවීණ උඩරට නර්තන සහ කථකලී නර්තන ශිල්පී ආචාර්ය රවිබන්ධු විද්‍යාපති , සමන්තා විද්‍යාපති සහ චන්දන වික්‍රමසිංහ මෙම සත්කාර්යේ උපදේශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
මෙම ප්‍රසංගයට සහභාගී වන සෑම ඉන්දියානු ශිල්පියෙක්ම තමන්ගේ ගුවන් ටිකට්පත් වියදමත් තමන්ම දරාගෙන තමයි ලංකාවට එන්නේ. ප්‍රසංගය සඳහා ඔවුන් ඉදිරිපත් වෙන්නෙත් නොමිලෙමයි.ලාංකීය කලා ශිල්පීන් හැම දෙනාමත් එහෙමයි. ඉන්දියානු ශිල්පින් ලංකාවෙන් බලාපොරොත්තු වන එකම දෙය ඔවුන්ගේ නවාතැන් පහසුකම් සහ ආහාර පාන විතරයි . උත්තරීතර කලාවක උරුමය දෙවුර දරාගෙන එවන් මානසිකත්වයක සිට ඔවුන් කටයුතු කරන්නේ සැබැවින්ම ශාස්ත්‍රීය නර්තනය සහ සංගීතය කෙරෙහි වන හෘදයාංගම ආදරය නිසාමයි. ජීවිතයේ හැම තත්පරයක්ම මිළ කරන ඇතැම් මිනිසුන් අතරෙහි, මුදල කියන ඒකකයෙන් පිටස්තරව ජීවිතයේ කිසිදු තත්පරයක් ගණන් හදන්නේ නැති මිනිසුන් අතරෙහි කලාවට තියෙන අප්‍රමාණ සෙනෙහස නිසාම ඔවුන් කලාව වෙනුවෙන් මේ කරන කැපකිරීම සැබැවින්ම ප්‍රශංසනීයයි.සංස්කෘතික අමාත්‍යාංශයෙන්, රජයෙන් හෝ වෙනත් පෞද්ගලික අංශයකින් මෙම ශාස්ත්‍රීය සංස්කෘතික කර්තව්‍ය සඳහා කිසිදු අනුග්‍රාහකත්වයක් නොලැබුණත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තම ඉන්දීය උරුමයන් දිගහැරෙන ලාංකීය වේදිකාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා.
මාර්තු 04 වැනිදා පැවැත්වෙන මහෝත්සවයේදී ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන ශෛලීන් ශ්‍රී ලාංකීය ප්‍රවීණ ශිල්පීන් සහ භාරතීය ශිල්පීන් විසින් රඟ දක්වනු ලබන අතර එය නට මහෝත්සවය යනුවෙන් නම් කර තිබෙනවා.
භරත නාට්‍යයම්
විද්‍යා අරසු තමයි භරත නාට්‍යයම් රඟ දක්වන්නේ. ඉන්දීය සම්භවයක් ඇති විද්‍යා ශ්‍රී ලාංකීය නර්තන ශිල්පියකු හා විවාහකව කලා කටයුතුවල යෙදෙමින් දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව ඉන්නවා.
කථක් නර්තනය
ශාස්ත්‍රපති ශ්‍රීංගාමනී මේජර් වෙරෝනිකා දසනායක තමයි කථක් නර්තන ඉදිරිපත් වන්නේ
මෝහිණීයාට්ටම්
ඉන්දියාවේ ඉඳන් එන මව්මිතා පාල් මෙරට දැනට භාවිතයේ නොමැති මෝහිණීයාට්ටම් ශාස්ත්‍රීය නර්තනයේ යෙදෙනවා
කථකලී නර්තනය
ඉන්දියාවෙහි කේරළ ප්‍රාන්තයේ භාවිතයේ යෙදෙන ශාස්ත්‍රීය නර්තනාංගයකි .ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ,චන්දන වික්‍රමසිංහ ,මදුශංක ප්‍රිය දේශ් සහ ගීත් ප්‍රේමචන්ද්‍ර රංගනයෙහි යෙදෙනවා.
ඔඩිසි නර්තනය
ඉන්දියාවෙහි ඔඩීෂා (ඔරිස්සා) ප්‍රාන්තයේ ප්‍රචලිත ඔඩිසි නර්තනය ශාස්ත්‍රීය ඉන්දීය නර්තන ශෛලියක්. නර්තනයෙහි යෙදෙන්නේ විද්‍යා අරුසු
චෞ නර්තනය
ඉන්දියාවේ ඔඩීෂා ( ඔරිස්සා ) ප්‍රාන්තයේ ප්‍රචලිත චෞ නර්තනය ජන නැටුම් වර්ගයක් .එමෙන්ම මෙය යුද කලාවක්ද වෙනවා. චෞ කලාවේ ප්‍රධාන අංග ත්‍රිත්වයෙන් මයුර්භාන්ජ් වර්ගයේ නර්තන අංගයක් ශමිත හෙට්ටිගේ විසින් ඉදිරිපත් කරනවා.
කථක් නර්තනය
උත්තර භාරතයේ ප්‍රධාන නර්තන ශෛලියක් වන කථක් නර්තනය දේශීය වශයෙන් බොහෝ සිසුන් සංඛ්‍යාවක් හදාරන නර්තන අංගයක් .එදාට කථක් නර්තනයෙහි යෙදෙන්නේ අම්රිතා විද්‍යාපති.
මාර්තු පස් වැනිදා සංගීත මහෝත්සවය පැවැත්වෙනවා
සිතාර් වාදනය
ආචාර්ය නිර්මලා කුමාරී රොද්‍රිගෝ විසින් වාදනය කෙරෙන ශාස්ත්‍රීය වාදනයක්.
උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනා
ශාස්ත්‍රපති අසිත් අතපත්තු විසින් ගයනු ලැබේ. වාදන සහාය ශාස්ත්‍රපති පේෂල මනෝජ් සහ විශාරද අරුණ ශාන්ත
බට නලා වාදනය
එදාට බටනලාව වාදනය කරන්නේ කුමාර ලියනවත්ත
වීණා වාදන වෘන්දය
සියලු සංගීත භාණ්ඩයන්ගේ රැජන ලෙස ප්‍රචලිත වීණාව වයන්නේ ගයත්‍රී සුන්දරමෝහන් ඇතුළු පිරිසයි.
තාල වාදන වෘන්දය
ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ඇතුළු පිරිස තාල වාදන වෘන්දයේ යෙදෙනවා
දක්ෂිණ භාරතීය ශාස්ත්‍රිය ගායනා
දෙවින් ගනේගොඩ සේනාධීර විසින් ගයනු ලැබේ
ඒ තමයි පරම්පරා ප්‍රසංගයේ විස්තරය.පරම්පරා ප්‍රසංගය ගැන දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ආචාර්ය රවි බන්ධු විද්‍යාපති සඳහන් කළේ මෙම ඇතැම් නර්තන ශෛලීන් අද වන විට ඉන්දියාවෙන් පවා දුරස්ව යන බවත් ශ්‍රී ලංකාවේ දකින්නට නොමැති බවත් එහි වටිනාකම් මිල කළ නොහැකි බවත්ය. නර්තන කලාව අවභාවිත වන සහ නර්තන කලාවේ පැවතිය යුතු ගුණාංග සහ සැබෑ නර්තන ශෛලීන් අභාවයට යන යුගයක සැබෑ නර්තනයේත් සංගීතයේත් වටිනාකම් උතුම් උසස් රස වින්දනයක් ජනනය කරනු පිණිස ජනතාව වෙත එන්නත් විය යුතු බවත් ඔහු සඳහන් කළා. එහෙත් අවාසනාවකට මෙවැනි ශාස්ත්‍රීය ප්‍රසංග සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගැනීම පවා ඉතාමත් දුෂ්කර කාර්යයක් වන බවත් පෞද්ගලික අංශයෙන් තබා රාජ්‍ය අංශයෙන් හෝ සංස්කෘතික අමාත්‍යංශයෙන්වත් මේ වනතෙක් මෙවැනි ප්‍රසංග සඳහා දායකත්වය ලබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවත්, ආචාර්ය රවි බන්ධු විද්යාපෘති සඳහන් කළා. එමෙන්ම නර්තනය සහ සංගීතය යන කලාවන්ට ඇති ආදරය නිසාම ඉන්දියානු නර්තන සහ සංගීත ශිල්පීන් ගුවන් ටිකට්පත් වියදම දරාගෙන නොමිලේම මෙවැනි ප්‍රසංගවලට සහභාගි වීම කෙතරම් ප්‍රශංසනීයද යන්නත් ආචාර්ය රවි බන්ධු විද්‍යාපති සඳහන් කළ අතර මෙම ප්‍රසංගය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලාංකීය ශිල්පින් සියලු දෙනාද නොමිලේම මේ සඳහා දායකත්වය ලබා දීම අගය කළ යුතුම කාර්යයක් බව ද සඳහන් කළා. ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිණි ප්‍රීති ගනේගොඩ සඳහන් කළේ කවර බාධකයක් පැමිණියත් නර්තන කලාව සහ සංගීතය වෙනුවෙන් තමාගේ ඇති ආදරය නිසා මෙවැනි ශාස්ත්‍රීය නර්තන කලාවන් සහ සංගීත සම්ප්‍රදායන් ජනගත කරුණු පිණිස තමාට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවයි.එමෙන්ම වසරෙන් වසරට මෙම ප්‍රසංගය පැවැත්වීමට තමා අදහස් කරන බවත් තෞර්යත්‍රිකම් ග්‍රන්ථය ජනගත කරනදා ශාස්ත්‍රීය සංගීතයට සහ නර්තනයට ලැදි පිරිසක් හඳුනාගැනීමට ලැබීම තමාට මේ මොහොතේ සතුටට කාරණයක් බවත් ඇය ඉතා සංවේදීව පැවසුවා.
දුරකථන අංක
+94 77 888 1540
+94 777872527යන දුරකථන අංක වලින් සහ
Email : parampara.festival .2026@gmail.com
Facebook – parampara festival
Instagram -parampara .festival
Tik Tok – parampara.festival
ඔස්සේ ඔබට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි අතර වැඩිම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 5000ක් වන අතර අඩුම ප්‍රවේශ පත්‍රයක මිල වන්නේ රුපියල් දාහක් පමණයි.
පරම්පරා වෙනුවෙන් වැය කරන හැම මුදලක්ම වියදම් කරන්නේ ප්‍රීති ගනේගොඩ භරත නාට්‍යම් ශිල්පිණියයි. අද වන තෙක් මෙම සුන්දර සංස්කෘතික ශාස්ත්‍රීය උත්සවය වෙනුවෙන් රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් කිසිදු අනුග්‍රාහකත්වයක් ලැබී නැතත් ප්‍රීති තුළ වන අප්‍රමාණ ධෛර්ය ,ශක්තිය සහ කැපවීම විසින් ඇය සුන්දර ශාස්ත්‍රිය සිහිනයක් සැබෑ කර ගැනීමේ දවස් ගනිමින් ඉන්නවා.
වසරක් නෑර ශාස්ත්‍රීය නර්තනයත් සංගීතයත් හා බැඳුනු ශාස්ත්‍රීය රසවතුන් වෙනුවෙන් පරම්පරාරා ප්‍රසංගය දිලිසෙන්නට අපේ ආශිර්වාදාත්මක සුභ පැතුම්
