NextWatch

බෙංගාල බොක්කේ ගැඹූරු පීඩන අවපාතයක්

දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය මගින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවන මුත්, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මීට අමතරව උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා විටින් විට පැයට කිලෝමීටර් 40 – 50 දක්වා වූ තද සුළං හමා යා හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Exit mobile version