උතුර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබේ.
පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිස් අතරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සඳහන් කරයි.
එහිදී උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා දමන අතර, පෞද්ගලික අංශයේ බොහෝ ක්‍රියාදාමයන්ද අඩපණ වන බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිලධාරීන් විසින් පහර දුන් බවට චෝදනා එල්ල වූ අතර එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙකු ප්‍රදේශයේ වැවක මිය ගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 02 ක් විමර්ශන සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ වුවද අදාළ තරුණයා මිය යාමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද(18) දිනයේ හර්තල් ව්‍යාපාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇතිි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශක්‍යනාත් රාසමානික්කම් මහතාද පැවසුවේය.
මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහාය පළ කරන බව පසුගියදා සඳහන් කළේය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදු කරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ සහ නැගෙනහිර ජනතාව අතර කැළඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.
