දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වී බරපතල වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටි උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම් රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයකට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ගොනුකර ඇති ඇප අයදුම් පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වෙනදා කැඳවන ලෙස කොළඹ මහා අධිකරණය නියම කළේය.
මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වග උත්තරකාර අල්ලස් කොමිස නෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ දී භාරදී ඇත.
ඉන් අනතුරුව අදාළ පෙත්සම්කරු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වෙනදා කැඳවීමට දින නියම කර තිබේ.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වෙනදා අතර කාලසීමාව තුළ එස්. එම්. රංජිත් මහතා උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප් සමඟ ඉන්ධන දීමනාවක් ලබාදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම් පත් මගින් රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබාදීම සහ එසේ ලබාදීමට රජයේ නිලධාරීන් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 06 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.
එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනා අධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියෝජනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදාහැරෙන ලෙස මෙම ඇප අයදුම් පත ගොනුකර තිබේ.
