අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ වන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අද (29) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (20) වෙනිදා නොතිසි නිකුත් කර තිබුණි.
අල්ලස් කොමිසම විසින් කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන්නැයි රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) තීරණය කළේය.
ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබුණි.
කෙසේ වෙතත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවා දායකයා වෙත නිකුත් කළ නොතිසියට අනුව ඔහු අනිවාර්යයෙන්ම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉදන්තිස්ස මහතා සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී නොමැත.
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් 2012 වර්ෂයේදී රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2013 වසරේදී ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මෙම විමර්ශනය සිදු කරනු ලබයි.
ඒ අනුව රාජිත සේනාරත්න, මේ වනවිට කොළඹ මහාධිකරණයට පැමිණ ඇති බව වාර්තාවේ.
