NextWatch

රතන හිමි නුගේගොඩ අධිකරණයට

වරෙන්තු නිකුත්කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් පැහැර ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට කළ දැනුම්දීම් නොසලකා හැර සැඟව සිටි අතුරලීය රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ විය.

විමර්ශන නිලධාරීන් දැක්වූ කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන පසුගිය (18) රතන හිමියන්ට වරෙන්තු නියෝග කළාය.

2020 මැතිවරණයෙන් පසු අතුරලියේ රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට නොහැකි වූයේ , තමන් වහන්සේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඒ සඳහා කැමැත්ත පළ කළ බව දැක්වෙන ලිපියකට බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීම නිසා බවට අපේ ජන බලපක්ෂයේ ලේකම් වෙඩිහිගම විමලතිස්ස හිමියන් කළ පැමිණිල්ලක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශන ආරම්භ කොට තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශන මත, පැහැරගැනීම, කූට ලේඛන සකස් කිරීම, මරණ තර්ජන කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකාර අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු නිකුත් කර තිබේ.

කෙසේ වුවද, මේ වනවිට අතුරලියේ රතනහිමියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

Exit mobile version