NextWatch

තමිල්නාඩුව මෝදිගෙන් තවත් ඈතට :පළාත් සභා ඡන්දෙත් ළඟ-ළඟ ?

තමිල්නාඩු දේශපාලන වාතාවරණය ගැන මාධ්‍යවේදී ශාලික විමලසේන ලියූ සටහනක්.

බලය ලබාගැනීම සහ පවත්වා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ කතාබහක් ඇති වී තිබෙන තත්ත්වයක, ඉන්දියාව මේ වන විට ව්‍යවස්ථාපිත බලය පිළිබඳ ගැටලුවකට මුහුණ පා සිටී. එය මේ වන විට තිබෙන්නේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ය. ලෝකයේ ඉහළ ම බලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණයක් ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකට ය. එසේම එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද දීර්ඝකාලීන ඇගයීමක් තිබේ.

වර්තමාන ඉන්දීය අගවිනිසුරු බී.ආර්.ගවායි පසුගිය ජුනි මාසයේ සිදු කළ කතාවක් ලංකාවේ මෙන්ම ලෝකයේ වැඩිම කතාබහට සහ සංවාදයට ලක්වූ කතා අතර විය. ඔහු පැවසුවේ තමන් විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ කිසිදු තනතුරක් හෝ වගකීමක් බාරනොගන්නා බවයි. එසේ කළහොත් එමගින් අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වන බව ද අගවිනිසුරුවරයා සඳහන් කර තිබිණි. එක්සත් රාජධානියේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අගිවිනිසුරු ගවායි වැඩිදුරටත් පවසා තිබුණේ තමන් සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් බහුතරයක් මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රතිඥා දී ඇති බවයි.

2018 – 2019 කාලයේදී ඉන්දියාවේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ රන්ජන් ගොගොයි මේ වන විට එරට රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි. වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත ඔහු එම තනතුර බාරගෙන තිබිණි. මීට පෙර මෝදි ආණ්ඩුව මගින් කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණේ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි. මේ දිනවල ඉන්දියාවේ ආන්දෝලනයට තුඩු දී ඇති අධිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ ද ආණ්ඩුකාරවරයාගේ බලය සම්බන්ධයෙනි.

තීරණාත්මක නඩු තීන්දුව

2025 අප්‍රේල් 08 වැනිදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සුවිශේෂී තීන්දුවක් ලබාදුන්නේය. එය හැඳින්වූයේ තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය එදිරිව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා තීන්දුව යනුවෙනි. එමගින් අධිකරණය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 200 සහ 201 වගන්තිවල සඳහන් ආණ්ඩුකාරවරයාගේ භූමිකාවේ ව්‍යවස්ථාමය සීමාවන් පැහැදිලි කළේය.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 200 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද පනතකට අනුමැතිය ලබාදීමට, අනුමැතිය ලබානොදීමට, නැවත සලකාබැලීම සඳහා එම පනත් කෙටුම්පත ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට ආපසු යැවීමට හෝ ජනාධිපතිවරයාට සලකාබැලීම සඳහා එම පනත් කෙටුම්පත යොමුකිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට බලය ඇති බවයි.

එසේ ම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 201 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයකු විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද පනත් කෙටුම්පත් සම්බන්ධයෙනි. මුදල් නොවන එවැනි පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදීමට, අනුමැතිය ලබානොදීමට හෝ නැවත සලකා බලන ලෙස දැනුම්දීමක් සහිතව ආපසු යැවීමට එමගින් ජනාධිපතිවරයාට බලය පවරා ඇත.

සිදු වූයේ කුමක්ද?

මේ නඩුවට හේතු වූ සංවාදය දීර්ඝ කාලයක් තිස්සේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැතිණි. ඒ, තමිල්නාඩුවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මත කරනු ලබන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් එම සභාව සහ ආණ්ඩුකාරවරයා හෙවත් ජනාධිපතිගේ නියෝජිතයා අතර පැවැති ගැටුමයි. නඩුවට හේතු වූ තීරණාත්මක පනත් කෙටුම්පත වූයේ තමිල්නාඩු විශ්වවිද්‍යාල නීති (සංශෝධන) පනත් කෙටුම්පතයි. එය ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව මගින් 2022 මැයි 11 වැනි දින සම්මත කොට ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යොමුකරන ලදි. එහෙත් මාස 17කට වැඩි කාලයක් ඊට ආණ්ඩුකාරවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ආණ්ඩුකාරවරයා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 200 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාර ව 2023 ඔක්තෝබර් 18 වැනිදා පනත් කෙටුම්පත නැවත සම්මත කරන ලෙස දැනුම් දුන්නේය. සභාව එය සිදුකරන ලදි. ඉන්පසු ආණ්ඩුකාරවරයා විසින් සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 201 ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල භාවිත කරමින් එය ජනාධිපති අනුමැතියට යොමුකිරීමයි. ඉන්දියාවේ වර්තමාන ජනාධිපති ධුරය දරන්නේ දෞපදී මුර්මූ ය. ඇය 2022 අගෝස්තු 25 වැනිදා එම ධුරයට පැමිණියාය.

ආණ්ඩුකාරවරයා වෙනස් මගක් ගනී

මේ කරුණ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමේදී අවධානය යොමුවූයේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ව කටයුතු කර ඇද්ද යන්න සම්බන්ධයෙනි. එහිදී අවධානය යොමුකරන ලද විශේෂ කරුණක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 200 වැනි ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයා විසින් නැවත සලකාබැලීමට පනත් කෙටුම්පත යොමුකිරීමෙන් පසු, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය එය ඒ ආකාරයෙන් සිදු කර ඇත.

අවශ්‍ය නම් ආණ්ඩුකාරවරයාට එසේ නොකොට මුල් අවස්ථාවේදී, කෙටුම්පත ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට හැකියාව තිබිණි. එය ව්‍යවස්ථාපිත අයිතියකි. එහෙත් මුල් අවස්ථාවේදී එසේ නොකොට, ආණ්ඩුකාරවරයා දෙවැනි අවස්ථාවේදී කෙටුම්පත ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. මෙය ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අත්තනෝමතික ලෙස භාවිත කිරීමක් බවට තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මගින් තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට අධිකරණය ඉදිරියේ චෝදනා කෙරිණි.

මෙහිදී අධිකරණය අවධානය යොමු කළ ප්‍රධාන කාරණයක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙවැනි කටයුතු සඳහා ස්ථාවර කාල රාමු සකසා නැති බවයි. කෙසේ වෙතත් සාධාරණ කාලයක් තුළ මෙවැනි කටයුතු අවසන් කළ යුතු බව ද අධිකරණය මෙහිදී පෙන්වා දුන්නේය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් මේ අවස්ථාවේ සිදු කළ ප්‍රමාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැනි බව ද මෙහිදී අවධාරණය කෙරිණි. එම නිසා මෙහිදී අධිකරණය තීන්දු කළේ ආණ්ඩුකාරවරයාගේ ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට මාසයක් ප්‍රමාණවත් බවයි.

ජනාධිපති මැදිහත් වෙයි

කෙසේ වෙතත් මේ කාල සීමා සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අධිකරණය දැක්වූ අදහස් සංවාදයට බඳුන් වූ අතර, 2025 මැයි 13 වැනිදා ජනාධිපතිවරයා විසින් ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 143 ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුකාරවරුන්ගේ බලතල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ක්‍රියා කළාය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 143 (1) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිශ්චිත නඩු විභාගයකින් පසු අභිමතය පරිදි තම මතය ජනාධිපතිවරයාට දැනුම්දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි බවයි. එහි (2) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා කරන ලද විමසීමක් සම්බන්ධයෙන් තම මතය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දිය යුතු බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මුර්මු විසින් මෙසේ ආණ්ඩුකාරවරුන්ගේ බලතල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැටලුසහගත බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසයි. තමිල්නාඩු ප්‍රාන්ත රජය එදිරිව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා නඩු තීන්දුවේදී දැනටමත් මේ පිළිබඳ අධිකරණයෙන් පුළුල් විග්‍රහයක් ලබාදී තිබෙන තත්ත්වයක් තුළ, යළිත් මෙවැනි මතය විමසීමකට යෑම සැක මතුකරන්නක් මෙන්ම ව්‍යවස්ථා අර්බුදයකට මග හෙළිකරන්නක් විය හැකි බවට ද ඔවුහු තර්ක කරති. මේ අදහසට ප්‍රතිවිරුද්ධ මතයක් දරන තවත් දේශපාලන විචාරකයන් පිරිසක් පෙන්වා දෙන්නේ කේරළ ප්‍රාන්ත රාජ්‍යය සහ කේරළ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අතර ද මෙවැනි ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති බවත්, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් මතුවීම වළක්වාගැනීම සඳහා නිශ්චිත ව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම වැදගත් බවත් ය.

ප්‍රාන්ත රාජ්‍ය දෙකට බෙදෙයි

2025 අගෝස්තු 26 වැනිදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ පිළිබඳ විවාදය ආරම්භ කළේය. එම විනිසුරු මඩුල්ලේ සභාපති ධුරය දරන්නේ අගවිනිසුරු බී.ආර්. ගවායි ය. මේ විවාදය ආරම්භයේදී ම තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය පාර්ශ්වයෙන් අධිකරණයට අවධාරණය කළේ ප්‍රාන්ත රාජ්‍යයට සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට එක ම කොපුවක දැමූ කඩු දෙකක් ලෙස කටයුතු කළ නොහැකි බවයි. මේ විවාදයේදී මහාරාෂ්ට්‍ර, රාජස්ථාන්, චැටිෂ්ගාර්, ගෝව, හර්යානා සහ පුඩුචෙරි වැනි ඉන්දියාවේ ආණ්ඩු බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ බලය සහිත ප්‍රාන්ත රාජ්‍ය අවධාරණය කළේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුකාරවරුන්ට ඇති බලතල පිළිබඳ අධිකරණයට කාල සීමා පැනවිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විමසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කරුණු සම්බන්ධයෙන් අධිකරණ මැදිහත්වීම ව්‍යවස්ථාවට අනුකූල නම්, මෙහිදී පමණක් එය අදාළ නොවන්නේ කෙසේද යනුවෙනි.

මේ විවාදයේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සොලිසිටර් ජනරාල් තුෂාර් මෙහ්තා කරුණු දක්වන අතර, ව්‍යවස්ථා විශාරදයකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නීතිඥ අභිෂේක් සිංග්වි තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය වෙනුවෙන් සති අන්තය වන විට කරුණු දක්වමින් සිටියේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ මතය

සිංග්වි මෙහිදී දැඩි ලෙස තර්ක කළේ වගකිවයුතු රාජ්‍යයන් තුළ ආණ්ඩුකාරවරුන්ට අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩක් නැති බවටයි. එසේ ම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට පවරා ඇති බලතලවල අරමුණ ප්‍රාන්තවල නීති සම්පාදනයට සහාය වීම පමණක් බව ද මෙහිදී අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ප්‍රාන්ත රාජ්‍යයට ම යම් සැකයක් මතුවන්නේ නම් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසීම ආණ්ඩුකාරවරයා හරහා සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇතැයි ද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් එය ප්‍රාන්ත රාජ්‍යයේ බලතල සීමා නොකරන බවට ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තර්ක කළේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 163 ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකාරවරයාට ප්‍රාන්ත රාජ්‍යයේ ඇමැතිවරුන් හෝ ව්‍යවස්ථාදායකය ඉක්මවා කටයුතු කිරීමේ අභිමත බලයක් ලබාදී නැති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ද සඳහන් කර ඇති ආකාරයට ආණ්ඩුකාරවරයා ප්‍රාන්ත රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සහාය සහ උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එසේ නොවන්නේ නම් බරපතළ ගැටලු මතුවන බව ද අවධාරණය කළේය.

ආචාර්ය අම්බෙඩ්කාර්ගේ නිරීක්ෂණ

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ මූලිකයා වූ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ නිරීක්ෂණ අනුව සකස් කරන ලද විනිසුරු එම්.එම්. පුංච් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු කිහිපයක් පිළිබඳව ද අධිකරණයේ අවධානය යොමුකිරීමට නීතිඥවරයා කටයුතු කළේය. එහි සඳහන් ආකාරයට ආණ්ඩුකාරවරයාට ප්‍රාන්ත රාජ්‍ය අමාත්‍යංශවල බලය ඉක්මවා යා නොහැක.

රනිල් ගැන කතා කළ තරූර් මතුවෙයි

මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසු පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය දේශපාලනඥ ශෂී තරූර් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් මතු විය. ඒ ඔහු කේරළය නියෝජනය කරමින් ලෝක් සභාවේ සිටි කාලය පිළිබඳවයි. තරූර් යනු ඉන්දියාවේ ප්‍රකට ගත්කතුවරයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ දේශපාලනඥයෙකි.

ආණ්ඩුකාරවරයාට කිසිදු අවස්ථාවක ප්‍රාන්තයේ සුපිරි මහ ඇමැතිවරයකුගේ භූමිකාවක් රඟපෑමට නොහැකි බව ද මේ විවාදයේ තුන්වැනි දිනය වූ පසුගිය 28 වැනිදා නීතිඥ සිංග්වි පැවසීය. එහිදී ඉන්දීය අගවිනිසුරු බී.ආර්. ගවායි ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ නීතිඥවරයාට මේ ගැටළුව සමාජ මාධ්‍ය ඔස්සේ විසඳාගත හැකි බවක් ද පෙනෙන්නට තිබෙන බවයි. ඊට හේතුව වූයේ පසුගිය දිනවල මේ පිළිබඳ ඉන්දීය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස අදහස් ප්‍රකාශ වීම ය.

සොලිසිටර් ජනරාල් මුක්තිය ගැන කතාකරයි

මේ විවාදයේදී අදහස් දක්වමින් සොලිසිටර් ජනරාල් තුෂාර් මෙහ්තා පෙන්වා දුන්නේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 361 ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයාට සම්පූර්ණ මුක්තියක් ඇති බවයි. ආණ්ඩුකාරවරයා යනු දේශපාලන පක්ෂයක නියෝජිතයකු නොවන බවත්, ඔහු ක්‍රියා කරන්නේ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මිස පක්ෂයක උපදෙස් මත නොවන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම ලබාදුන් බී.පී. සිංගාල් තීන්දුව උපුටා දක්වමින් සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී තර්ක කළේය.

ජනාධිපතිවරිය ආණ්ඩුකාරවරයාගේ සීමා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පිළිබඳව කරුණු දක්වමින් සොලිසිටර් ජනරාල් මෙහ්තා පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය එදිරිව තමිල්නාඩු ආණ්ඩුකාර නම් පෙර තීන්දුවට අනුව යම් සීමාවක් මෙවැනි කටයුතු සඳහා දැමීම ගැටලු මතුකරන බවත්, එය නිරාකරණය කරගත යුතු බවත් ය. එසේ ම ජනාධිපතිවරයාගේ කටයුතු අධිකරණයේ සමාලෝචනයට ගෙනඒම දේශපාලන කැළඹීමකට හේතු වනු ඇතැයි ද ඔහු මෙහිදී තර්ක කළේය. පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදීමට පෙර කරුණු රාශියක් සලකා බලන බවත්, ඒ සඳහා ඇතැම් විට දීර්ඝ කාලයක් අවශ්‍ය විය හැකි බවත් පැවසූ සොලිසිටර් ජනරාල්වරයා, එය අධිකරණ තීන්දුවකින් සීමාකිරීම බරපතළ තත්ත්වයක් බව ද පැවසීය.

මූලික අයිතිවාසිකම් කාගේ ද?

මෙහිදී මතු වූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ කරුණ ද සොලිසිටර් ජනරාල්වරයා පැහැදිලි කළ අතර, එහිදී ඔහුගේ අදහස වූයේ රාජ්‍යයට මූලික අයිතිවාසිකම් නොමැති බවත්, රාජ්‍යය යනු මූලික අයිතිවාසිකම්වල ආරක්ෂකයා බවත් ය.

මෙහිදී කවර තීන්දුවක් ලැබුණද, එය ඉන්දියානු දේශපාලනයේ ආන්දෝලනාත්මක තත්ත්වයක ආරම්භයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එනම් මධ්‍යම රජය සහ ප්‍රාන්ත රාජ්‍ය අතර බලතල සහ සීමා පිළිබඳ නව අර්ථකතනයක් මෙන්ම නව අර්බුදයක් ද එමගින් ඇති වේ. ඇතැම් විට නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව තව-තවත් තමිල්නාඩුව, කේරළය ඇතුළු ඔවුන්ට බලය අහිමි ප්‍රාන්තවලින් ප්‍රතික්ෂේප වීමට ද මෙය හේතුවක් වනු ඇත. ලංකාවේ පළාත් සභා ඡන්දයත් ළඟ ළඟ එන්නේය.

Exit mobile version