NextWatch

මිද්දෙණියේ අයිස් මත්ද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත් බෝම්බ හා උණ්ඩ කීපයක් සොයා ගැනේ

හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තිබූ භූමිය තුළ තිබියදී ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ සහ අත් බෝම්බ කිහිපයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (06) සොයාගෙන තිබේ.

එහිදී එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපු කානුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ පහක්, T56 ගිනි අවි සඳහා යොදාගන්නා උණ්ඩ 17ක්, බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් එම නිලධාරින් විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් බැකෝ සමන්ගෙන් ලද තොරතුරු වලට අනුව මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභිකයාගේ නිවස සහ ඔහුගේ ගෙවත්ත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දින කීපයක් තිස්සේ පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

එම පරීක්‍ෂා කිරීම් අතරතුර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් පොලිස් විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

තවදුරටත් පොලිසිය සිදුකළ සොයා බැලීම් අතරතුරදි මෙම අත්බෝම්බ සහ ජීව උණ්ඩ තොගය හමුවී ඇත්තේ ප්‍රාදේශීය සභා සභිකයාට අයත් මඤ්ඤොක්කා වගා කරදන ලද ඉඩමක සඟවා තිබියදීය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ මෙහෙයවීම මත මෙම පොලිස් පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version