NextWatch

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.

සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබාදුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 මැයි 09 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු, එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, රුපියල් 8,850,000/- ක මුදලක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ, මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

Exit mobile version