දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අම්පාර උහන දී ආරම්භ කිරීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම මස 09 වැනි ඉරිදා දින පෙරවරු දහයට වැවිලි සහ ප්‍රජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය අම්පාර උහන නගරයේදී සිදු කිරීමට කටයුතු යොදාඇත.
මෙහිදි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදා දීමට සැලසුම් කර ඇති අතර මෙමගින් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරිමට අපේක්ෂිතය.
ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරගත් එම ප්‍රතිලාභින්ගේ දෛනික පරිභොජනය සඳහා පොල් තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය. එමෙන්ම පොල් පැළ බෙදාදීමේ සිට පොල් අස්වැන්න නෙළන අවස්ථාව තෙක්ම පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශිය නිළධාරින් සමග ප්‍රජා ශක්ති කමිටුවේ නිලධාරින් විසින් පුර්ණ අධීක්ෂණයක් සිදු කිරිමට නියමිතය.
