තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ විය.
මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබේ.
පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක එම විරෝධතා පැවැත්වෙන බව ද සඳහන් වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳාව විවිධ අදහස්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේය.
එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බවය.
මේ අතර ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතාවක් රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පැවැත්විණි.
එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක්ද ඇති විය.
කෙසේ වුවද, පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදී එලෙසම ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (13) පැවසුවේය.
ප්‍රශ්නගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ විමර්ශන වාර්තාවෙන් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.
මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරු සහ ඇගයීමේ කටයුතු, විෂයමාලා සංවර්ධනය සහ මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසීය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක කුලුනක් වන මානව සම්පත් සංවර්ධනය සඳහා අධ්‍යාපන පරිපාලන සේවයට 2017න් පසු බඳවා නොගත් 502ක් බඳවා ගෙන උසස් වීම් 306 දෙනකුට ලබා දී 800කට වැඩි ප්‍රමාණයකට පුහුණුවීම් ලබා දෙමින් පවතිනවා. ගුරු අධ්‍යාපනඥයන් 580ක් බඳවා ගෙන පුහුණුවීම් කරගෙන යනවා. පසුගිය කාලයේ දී ගුරුවරුන් 4,134ක් බඳවා ගැනීමට කටයුතු කළා. තවත් ගුරුවරුන් 23,344ක් කඩිනමින් බඳවා ගන්න කටයුතු කරනවා.
6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් ව්‍යාකූලත්වයක් ඇති කරන්න කටයුතු කරමින් ඉන්නවා. රජය විශ්වාස කරනවා අවම අවිශ්වාසයක් හෝ තියාගෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එලෙසටම ඉදිරියට යන්න බැහැ කියලා. යම් වෙනසක් කළ යුතුයි කියන එක අපි පිළිගන්නවා. මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තක්සේරු සහ ඇගයීම, මහජන දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය කියන කරුණු එලෙසම පවත්වාගෙන යනවා.”
යැයි ද හෙතෙම මෙහිදී පැවසීය.
