NextWatch

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ.

ඒ අද පැවැති ඡන්ද විමසීමේදීය.

එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවිය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් ඔක්තෝබර් 22 වනදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු අතර පසුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිස්ව පැවතුණි.


 

ලසන්ත වික්‍රමසේකර යනු කවුද?

ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමින් ය.

පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.

ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේ ය.

සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.

විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.

සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.

Exit mobile version