NextWatch

චමල්ගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය. 

සිදු වූයේ කුමක් ද?

ශ්‍රීලංකන් සමාගමට එයාර් බස් යානා 10 ක් මිලදී ගැනීමේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බව කියන බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි සමාගමකට ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබාදීමේ සිද්ධිය අප ඊයේ වාර්තා කළේ ය. එයාර් බස් සමාගම සිදුකළ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා කාර්යාලය අධිකරණයට ඉදිරිපත්කළ වාර්තාවකින් මේ ගනුදෙනුව අනාවරණය කර තිබිණ. 2013 වසරේ ශ්‍රීලංකන් සමාගමට ඒ 330 වර්ගයේ යානා 6 ක් සහ ඒ 350 වර්ගයේ යානා 4 ක් මිලදී ගැනීමටත් තවත් යානා 4 ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමටත් බෲනායිහි ලියාපදිංචි සමාගම අතරමැදියන් ලෙස ක්‍රියාකාර තිබේ. මෙම ගනුදෙනුව සඳහා එයාර් බස් සමාගම බෲනායි සමාගමට ගෙවීමට එකගවී ඇති අල්ලස ඇමරිකානු ඩොලර් මිලියන 16.84 කි. ඉන් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 300 කට අධික මුදලක් එයාර් බස් සමාගම ගෙවා තිබිණ. මේ ගනුදෙනුව ඇතුළු වංචා රැසක් පිළිබඳව බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කිරීමෙන් පසුව ඇමරිකාව, බ්‍රිනාන්‍ය සහ ප්‍රංශයට පවුම් බිලියන 3.6 ක වන්දි හා ගාස්තු ගෙවීමට එයාර් බස් සමාගමට සිදුව තිබේ. කෙසේවෙතත් , ශ්‍රීලංකන් සමාගම මිලදී ගැනීමට සූදානම් වූ ඒ 350 යානා 4 පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය අවලංගු කළේ ය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවූ වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 98 කට අධිකයි. එය දළ වශයෙන් රුපියල් මිලියන දාහතර දහසකට අධිකයි. ශ්‍රීලංකන් සමාගමේ ඉහළම විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බෲනායි සමාගමට ලබාදුන් අල්ලස් මුදල රුපියල් මිලියන 300 ක් පමණ වෙද්දී ගනුදෙනුව අවලංගු කිරීමට ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දාහතර දහසකට අධික මුදලක් ගෙවා දැමීමට සිදුවිය. අතරමැදි සමාගමකට අල්ලස් ගෙවීම පිළිබඳව වංචාවක් අනාවරණය වී තිබියදීත් ශ්‍රී ලංකාව යළිත් විශාල වන්දි මුදලක් ද ගෙවා දමා යානා මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කර තිබේ.

Exit mobile version