NextWatch

අකුරේගොඩ ද්විත්ව ඝාතනය පිළිබඳව මෙතෙක් හෙළි වූයේ මොනවාද?නීතිඥ සංගමයේ සියලු නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවතට

වසර ආරම්භ වී මාස එක හමාරක පමණ කලක් ගත වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 7ක් වාර්තා වූ අතර එම වෙඩිතැබීමේ සිද්ධීන්වලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. 

මෙමගින් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධීන්වලින් වඩාත් කතා බහට ලක්වූ වෙඩිතැබීමේ සිද්ධිය ලෙස පසුගිය(13) පස්වරුවේ සිදුවූ අකුරේගොඩ ද්ත්ව ඝාතනය සඳහන් කළ හැකිය.

මෙම ද්ත්ව ඝාතනය සිදුවෙන්නේ අකුරේගොඩ යුදහමුදා මූලස්ථානය අසල පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී වන අතර මෙම ඝාතනය රටම කම්පා කළ සිද්ධියක් විය.

මෙම ඝාතනය සිදුවන්නේ අධිආරක්ෂිත කාලාපයක් ආසන්නයේ වීමද විශේෂත්වයකි.

සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.

මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනිඅවි 2ක් රැගෙන එම මෝටර් රථයේ පිටුපස අසුනෙන් බැස වෙඩිතැබීම ඉලක්ක වු මෝටර් රථයේ ඉදිරිපස දෙපසින් ගොස් වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ලකර පලාගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය.

ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

එලෙස ඝාතනයට ලක්වුණු නීතීඥවරයා බුද්ධික මල්ලවආරච්චි නම් 44 හැවිරිදි අයෙක්වන අතර ඔහු බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා නම් කාන්තාවකි.

පොලීසිය පැවසුවේ, අදාළ නීතීඥවරයා මීට පෙර අපරාධකරුවකු වන “කරන්දෙණිය සුද්දා” ලෙස හඳුන්වන අපරාධකරුවෙකුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට අනතුරුව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන “ලොකු පැටී” නැමැති අපරාධකරුගේ නඩු කටයුතු සඳහා පෙනී සිට ඇති බවය.

ඒ අනුව, කරන්දෙණිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී නැමැත්තාට ලබාදී ඇති බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

නීතිඥවරයාගේ වෘත්තීය පසුබිම කුමක්ද?

අදාළ නීතීඥවරයා වසර 5ක පමණ කාලයක සිට අපරාධවලට සම්බන්ධ නඩු සඳහා පෙනී සිටීම ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බවයි වාර්තා වෙයි. 

දිවයිනේ ප්‍රදේශ රැසක එවැනි නඩු සඳහා පෙනී සිටිමින්, පොලිසිය අත්අඩංගුවට ගන්නා අපරධකරුවන් පොලිස් ස්ථාන තුළදී හා විමර්ශන ඒකක වෙත ගොස් හමුවීම සහ බන්ධනාගාරවලට ගොස් හමුවීම සිදුකරමින් සිය වෘත්තීය කටයුතු කර ඇති බව ද සඳහන් වේ.

ඔහු කලකට ඉහතදී අපරාධකරුවකුවන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති බවයි වාර්තා වේ.

අනතුරුව ඔහුගේ ප්‍රතිවාදියාවන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නඩු කටයුතු සඳහා පෙනී සිට තිබේ.

ලොකු පැටී බෙලරූස්හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කාලයේදී ඝාතනය වූ නීතීඥවරයා එහි පැමිණ ඔහු හමුවී අවශ්‍ය නීති උපදෙස් ද ලබාදී ඇති බවයි වාර්තා වෙයි. 

ලොකු පැටී විසින් මෙහෙයවූ බව කියන ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ නඩුව ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ නඩුවටද ඔහු පෙනී සිට ඇති බව වාර්තා වේ..

ඒ අනුව ඔහු ලොකු පැටී සමග සබඳතා පැවැත්වීම නිසා තමන්ගේ රහස්‍ය තොරතුරු ඔහුට ලබාදී ඇතැයි ඇති වූ සැකය මත කරන්දෙණියේ සුද්දා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපළ කෙරේ.

කරන්දෙණිය සුද්දා සහ ලොකු පැටී කවුද ?

ජයලත් සිල්වා නොහොත් “කරන්දෙණිය සුද්දා” විදෙස්ගතව සැඟව සිටින මෙරට ප්‍රධානපෙලේ අපරාධකරුවකු ලෙස හැඳින් විය හැකිය.

ඔහු හමුදාවෙන් පලායෑමෙන් අනතුරුව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිය අපරාධ කටයුතු මෙහෙයවා තිබේ.

“කරන්දෙණිය සුද්දා” මනුෂ ඝාතන කිරීම සඳහා කොත්ත්‍රාත් ලබා ගන්නා අයෙකු බවත් ඔහු විසින් මත්ද්‍රව්‍ය ජවාරම සහ මන්කොල්ල කෑම් වැනි අපරාධ සිදුකර ඇති බවටද පොලිස් වාර්තා පෙන්වා දෙයි.

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටීගේ නම වැඩිවශයෙන් කතාබහකට ලක් වන්නේ, ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසට ඔහු හඳුනාගැනීමත් සමඟය. 

සංවිධානාත්මක අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ වූ ඔහු 2024 වසරේ අගෝස්තු මස බෙලරූස්හීදී අත්අඩංගුවට පත්විය. 

ක්‍රියාතමක වන පොලිස් පරීක්ෂණ මොනවාද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට සම්බන්ධ තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇතැයි සිදුවීම පිළිබඳව පරීක්ෂණ කරන ප්‍රධාන විමර්ශන නිලධාරී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෙබ. 15 වන දා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය. කෙසේ වෙතත් සැකකරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු එම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව විමර්ශන නිලධාරියා පැවසීය.

"දවසක් දෙකක් ඇතුළත මෙය විසඳගන්න බොහෝ දුරට පුළුවන් වේවි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා," 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

ඝාතනයට ලක් වූ මෙම නීතිඥවරයාට මරණ තර්ජන තිබී ඇති බවට අනාවරණය වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුපිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ඒ පිළිබඳව පොලිසියට වාර්තා වී නැති බව ය.

අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ගමන් ගත් මාර්ගය සහ අංක තහඩුව

අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ගමන් ගත් මාර්ගය පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රධාන විමර්ශන නිලධාරියා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

“සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක් 30ක් වගේ දුරට මේ වාහනයේ ගමන් මග අපි හඳුනා ගෙන තියෙනවා. හොරණ වගේ ප්‍රදේශයට වෙනකම් අපි CCTV ඔස්සේ හඳුනාගෙන තියෙනවා,”

ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙම මෝටර් රථය හොරණ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, තුවක්කුකරුවන් මෝටර් රථයේ නැගී පලා යන අතරතුර එය අනතුරට ලක්ව ඇති බව ත් එම අවස්ථාවේදී මෝටර් රථයේ අංක තහඩුවක් බිම වැටී ඇති බව ත් ය.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ, එය මෙම මෝටර් රථයට “අදාළ අංක තහඩුව නොවන” බව ය.

සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

මෙම අපරාධය සිදු කිරීමට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බව දැනට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසි පැවසීය.

ඒ අනුව, ඝාතනය සිදුවූ පෙබරවාරි 13 වන දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරාවල සැකකරුවන් පැමිණ ඇති බවට සැක කෙරෙන EP KI 7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන් වී ඇති දැයි පරීක්ෂා කර බලා ඒ බව 071 8598008 (නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව) හෝ 071 8592279 (අධ්‍යක්ෂ / බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය) යන දුරකතන අංක වෙත දැනුම් දෙන පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

නීතිඥ සංගමය කියන්නේ මොනවාද?

“නීතියේ ආධිපත්‍ය දැන් තර්ජනයට ලක් වෙලා”

මෙවැනි වාතාවරණයක් තුළ වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලු සාමාජිකයින්ගේ හදිසි මහ රැස්වීමක් පසුගිය (15) කොළඹදී පවත්වන ලදී.

අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, අදාළ වෙඩිතැබීම සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවය.

සභාපතිවරයා අවධාරණය කළේ, අපරාධකරුවෙකු කවුරු වුවද නීති පද්ධතිය තුළ ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවන බවයි.

“චූදිතයන් බොහෝ අවස්ථාවල නිදොස් කොට නිදහස් වෙනවා. ඒක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. නීතිඥවරයෙක් සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින එක නිසා මෙවැනි ප්‍රහාරයකට ලක්වීම කියන්නේ මුළු නීති පද්ධතියටම එල්ල කරන ප්‍රහාරයක්,” 

යැයි ඔහු පැවසීය.

නීතියේ ආධිපත්‍ය දැන් තර්ජනයට ලක්ව ඇති බවත්, අද නීතිඥවරයෙකු වනු ඇති නමුත් හෙට විනිසුරුවරයෙකු, පොලිස් නිලධාරියෙකු හෝ බන්ධනාගාර නිලධාරියෙකු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

“අපි ඉන්නේ 2026. හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල නෙමෙයි. රජයට වගකීමක් තියෙනවා පුරවැසියන් ආරක්ෂා කරන්න. අවශ්‍ය තාක්ෂණය, සීසීටීවී දර්ශන, විශේෂ කණ්ඩායම් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුයි,” 

යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

01.වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

02.දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

03.මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

04.තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

සියලු නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් ඊයේ(16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කැඳවූ අතර ඒවාට දින ලබා දීම පමණක් සිදුවිය.

උපරිමාධිකරණයේ ඇතැම් නඩු සඳහා කනිෂ්ඨ නීතිඥවරුන් පෙනී සිටිමින් ඒවාට දින ලබා ගන්නා ආකාරයක් ද දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, සඳුදා පෙරවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් විශාල පිරිසක් මෙම ඝාතනය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය වෙත පා ගමනින් ගමන් කළහ.

නීතිඥවරුන්ට සිය වෘත්තිය බියෙන් හා සැකයෙන් තොරව ඉටු කිරීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවත් මෙම අපරාධයට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කළ යුතු බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මාධ්‍යවලට කරුණු දක්වමින් අවධාරණය කළේ ය.

Exit mobile version