NextWatch

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය සහ ආගම

විවිධ රජයන් පාසල් විෂය මාලාවට විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එක් කිරීමට උත්සහා කළ ද, කලින් කලට එල්ල වන ආගමික විරෝධය හමුවේ එම උත්සහායන් ව්‍යාර්ථ විය.

ලිංගික අධ්‍යාපනය සම්බන්ධව නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ, පෙබරවාරි 20 වන දා කොළඹදී පැවති සඟ සමුළුවේදී ලිංගික අධ්‍යාපනය ලබා දීම මෙරට දූ දරුවන්ට අනවශ්‍ය බවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් කරන ලද අනුශාසනාවත් සමග ය.

මොන කෙහෙල්මලක් ද මේ ලිංගික අධ්‍යාපනය කියන්නේ. 

"පසුගිය දවස්වල අපේ රටට ලිංගික අධ්‍යාපනය ගේන්න ඕන යි කියලා ප්‍රකාශ කළා. ලිංගික අධ්‍යාපනය අපේ රටේ ජනතාවට අවශ්‍ය ද?, අපේ රටේ ජනතාවට ලිංගික අධ්‍යාපනයක් මම හිතන්නේ නැහැ අවශ්‍ය යි කියලා. අපේ රටේ ඒ කාලේ මිනිස්සු හොඳ විවාහ ජීවිත ගත කළා, දරුවෝ දහය පහළව ඇති කළා, බොහෝම සතුටින් ජීවත් වුණා, ඒවා අවශ්‍ය විදියට ඒ අයගේ ගුප්ත භාවය රැකගෙන, සංවරකම රැකගෙන ඒවා ඒගොල්ලෝ කර ගත්තා. මොන කෙහෙල්මලක් ද මේ ලිංගික අධ්‍යාපනය කියන්නේ. අවශ්‍ය ද ලිංගික අධ්‍යාපනයක් අපිට. ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නැහැ,

"ඒ කාලේ, මුලින් ම ලංකාවට දුම්රිය ගෙන්වපු වෙලාවේ මේ දුම්රිය දැක බලා ගන්න රේල් පාර දෙපැත්තේ ජනතාව පොර කකා හිටියා. මේ දුම්රිය එනකොට, මේ දුම්රිය එන්ජිමේ යම්කිසි අවයවයක් වැඩ කරන විදිය, ඒ පාර අයිනේ බලාගෙන හිටිය අම්මලා බලාගෙන හිටියා. පට ගාලා තමන් ළඟ ඉන්න දියණියගේ මුහුණ තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් වැහුවා කියලා තමයි කියන්නේ. මෙන්න අපේ ලිංගික අධ්‍යාපනය. තමන් ඇඳගෙන හිටිය රෙද්දෙන් මූණ වැහුවා ගෑනු දරුවන්ගේ. ඒ වැහුවේ මොකක්වත් ලිංගික කතාවක් නෙමෙයි. නමුත් ඒක අප්‍රසන්න දෙයක් වැඩිහිටියෝ දන්නවා එන්ජින් එකේ හැටි. මෙහෙමයි අපේ රටේ ලිංගිකත්වය. මේ ලිංගිකත්වය ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ලිංගිකත්වය පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දෙන්න ගිහිල්ලා දැන් අස්සක් මුල්ලක් නෑර, මම හිතන්නේ ආයේ අධ්‍යාපනයට හඳුන්වලා දුන්නත් එකයි, නැතත් එකයි. අස්සක් මුල්ලක් නෑර මේ සංස්කෘතික පරිහානියට බලපාන ලිංගිකත්වය පිළිබඳ තොරතුරු දැන් සමාජගත කරලා ඉවරයි,"

යනුවෙන් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සඳහන් කළහ.

ලිංගික අධ්‍යාපනය යනු

ලිංගික අධ්‍යාපනය යනු පුද්ගලයන්ට, විශේෂයෙන්ම තරුණයින්ට, මානව ලිංගිකත්වය, සබඳතා, ප්‍රජනක සෞඛ්‍යය, කැමැත්ත සහ පුද්ගලික ආරක්ෂාව පිළිබඳව ඉගැන්වීම ඇතුළත් තීරණාත්මක සහ සංවේදී මාතෘකාවකි. එය කෙනෙකුගේ ශරීරය, චිත්තවේගයන් සහ අන්තර් පුද්ගල ගතිකත්වය පිළිබඳ සෞඛ්‍ය සම්පන්න අවබෝධයක් වර්ධනය කිරීම සඳහා පදනමක් ලෙස සේවය කරයි. බොහෝ සමාජවල, ලිංගික අධ්‍යාපනය මහජන සෞඛ්‍ය මුලපිරීම්වල අත්‍යවශ්‍ය අංගයක් වන අතර, දැනුවත් තීරණ ගැනීමට දැනුමක් ඇති පුද්ගලයන් සවිබල ගැන්වීම, අනාරක්ෂිත ලිංගික භාවිතයන් හා සම්බන්ධ අවදානම් අවම කිරීම සහ විවිධත්වයට ගරු කිරීම පෝෂණය කිරීම අරමුණු කරයි. එහි වැදගත්කම තිබියදීත්, ලිංගික අධ්‍යාපනය විවාදයට තුඩු දෙන මාතෘකාවක් ලෙස පවතී.

"ජීවින්ගේ ලක්ෂණ අධ්‍යනය කිරීම ලිංගිකත්ව අධ්‍යාපනය යි"
-ජෝන් ජේ බර්ටි-
"ලිංගික අධ්‍යාපනය යනු ලිංගික ප්‍රතිචාර සහ ප්‍රජනනය පිළිබඳ විවිධ කායික මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක අංශයන්ගේ උපදෙස් සමූහයයි"

-ලීප්සන්-

යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දත්ත අනුව ලංකාවේ දැරියන්ගෙන් සීයට 66ක් වැඩිවියට පැමිණෙන දිනය දක්වාම ඔසප් වීම යනු කුමක්දැයි නොදැන සිටින බව පෙන්වා දෙයි. එමෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ ගැබ්ගැනීම් අතරින් සීයට 4.6ක් නවයොවුන් වියේදී සිදුවූ ගැබ්ගැනීම් බව සඳහන් වේ.තව ද ලංකාවේ නවයොවුන් දරුදැරියන් පොළඹවාගෙන ඔවුන් ලිංගික හිංසනයට ලක්කිරීමේ සිදුවීම් පවා වැඩියි. එයට හේතුව ඒ දරුදැරියන්ට පාසලේදී ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමයි.

ලිංගික අධ්‍යාපනයෙන් ඉගැන්විය යුතු ක්ෂේත‍්‍ර 7

ලිංගික අධ්‍යාපනයෙන් ඉගැන්විය යුතු ක්ෂේත්‍ර 7 යුනිසෙෆ් ආයතනය හඳුන්වා දී තිබේ. එනම්,

  1. තමන්ගේ ලිංගිකත්වය ගැන ඉගැන්වීම
  2. ලිංගික වටිනාකම්, ලිංගික සංස්කෘතිය හා ලිංගික අයිතිවාසිකම් යනාදිය.
  3. ලිංගිකත්වය අවබෝධ කරගැනීම ගැන ඉගැන්විය යුතුයි.
  4. ලිංගික හිංසනය හා ආරක්ෂිතව සිටීම
  5. ලිංගික සෞඛ්‍යය හා යහපැවැත්මට අදාලව වර්ධනය කරගත යුතු වටිනාකම්.
  6. මනුෂ්‍ය ශරීරය හා එහි වැඩීම.
  7. ලිංගිකත්වය හා ලිංගික හැසිරීම්

යන මාතෘකාවන් ය.

ලංකාවේ අධ්‍යාපනය තුළ ඒ ක්ෂේත‍්‍ර 7ම ආවරණය වෙන්නේ නැහැ.

අට ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පෙළපොතේ ලිංගිකත්වයට අදාළ මිනිස් සිරුරේ අවයව මොනවාද යන්නත් ඒවායේ වර්ධනය ගැනත් සඳහන් වේ. ඊට අමතරව ලිංගික හිංසනයෙන් ආරක්ෂා වෙන ආකාරය ගැන කරුණු කිහිපයක් අන්තර්ගත් වී තිබේ. එපමණයි. ලිංගික ආරක්ෂාව වැනි කාරණා ගැන එහි ඇති කරුණු ප්‍රමාණත්මක නොවේ.

තමන් ලිංගික හිංසනයට ලක් කිරීමේ අරමුණෙන් පොළඹවාගන්නා අයෙකුගේ හැසිරීම් මොනවාද, ඒවායින් ගැලවෙන්නේ කෙසේද යන්න ඉගැන්වීමත් ප්‍රමාණත්මක නොවේ. .

පාසල් අධ්‍යාපනයේදී ලිංගිකත්වය ගැන ඉගැන්වීම අතින් නෙදර්ලන්තය ඉදිරියෙන් සිටින රටකි. ඔවුන් සතුව ළමුන්ට සමීප වී විවෘත ලෙස ලිංගිකත්වය ඉගැන්වීම සඳහාත්, එය අවශ්‍ය සීමාව ඇතුළත කිරීම සඳහාත් පුහුණු කළ ගුරුවරුන් සිටින් අතර ඒ අධ්‍යාපනය නිසාම ළමා ගැබ්ගැනීම් අඩු වීම නෙදර්ලන්තයේ සාධනීය මට්ටමකි.

ලිංගික අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවන මූලික අරමුණු

යුනිසෙෆ් ආයතනයට අනුව නිසි ලිංගික අධ්‍යාපනයකින් මූලිකම ඉලක්ක කිහිපයකි.

ආදි ප්‍රතිඵල විධිමත් අධ්‍යාපනයක ප්‍රතිඵල ලෙස බලාපොරොත්තු විය හැකියි.

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන විට…

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් තරුණ ප්‍රජාව නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන ආකාරය දැකගත හැකිය. ලංකාවේ තරුණ ජනගහනය මිලියන 4.4ක් පමණ වේ. ඉන් 50%කටම පමණ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත. නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන් ඔවුන් යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනීම, ලිංගිකව සම්ප්‍රේෂිත රෝග, සහ කායික, මානසික පීඩනයට මුහුණදීම දැකගත හැකිය.

ලංකාව තුළ අවුරුදු 20ට අඩු ගැබ්ගැනීම් 20,000ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. 2018 UNICEF සංවිධානයේ වාර්තාවකට අනුව 2016 වසරේ ලංකාවේ ගර්භනී කාන්තාවන් අතරින් 4.6%ක් නව යොවුන්වියේ පාසල් දරුවන් ය. ඇතැම් පළාත්වල මෙය 5% – 8% අතර අගයක් ගනී. නව යොවුන් වියේ දී සිදුවන ගැබ්ගැනිම් නිසා අදාල දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නතර වීම, සමාජීය වශයෙන් පීඩනයට ලක්වීම, සහ මන්ද පෝෂණයෙන් යුතු දරුවන් බිහිවීම ආදී ප්‍රතිඵල දැකගත හැකිය. නව යොවුන්වියේ ගැබ් ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නොදැනුවත්භාවය, උපත් පාලන පෙති භාවිතා නොකිරීම හඳුනාගෙන ඇත.

ඊට අමතරව අවදානම් සහ අවිධිමත් ලෙස සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් හරහා ලිංගිකව සම්ප්‍රේෂිත රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතියි. 2015 දී වාර්තා වුණු ඒඩ්ස් රෝගීන්ගෙන් 75 දෙනෙකු වයස අවුරුදු 15ට වඩා අඩු දරුවන් වීම කනගාටුවට කරුණකි.

නව යොවුන් වියේ ගැබ්ගැනීම් හෝ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ, මෙවැනි සිදුවීම් වළක්වාගැනීම පිළිබඳව නව යොවුන් වියේ දරුවන්ට පවතින අවබෝධය සහ දැනීමේ පවතින අවම බව යි. 2018 දී UNICEF සංවිධානය නිකුත් කළ වාර්තාවක තවදුරටත් දක්වන්නේ ගැහැනු දරුවන් ගෙන් 66%ක් තමන් වැඩිවියට පත්වන තුරුම අදාළ ක්‍රියාවලිය පිළිබඳව කිසිවක් නොදන්නා බව ය. කොන්ඩමයක් භාවිතයෙන් බොහෝ ලිංගාශ්‍රිත රෝග වළක්වා ගත හැකි බවට තරුණ පරම්පරාවෙන් අවබෝධයක් ඇත්තේ 48%ක පිරිසකට පමණි. ඒ අනුව බහුතරයකට  උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැති බව ද පැහැදිලි වේ. මෙය අනවශ්‍ය ගැබ් ගැනීමට මෙන්ම ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමට ද හේතුවකි.

2016 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ජාතික සමීක්ෂණයෙන් හෙළි වූයේ මොනවාද ?

ලිංගිකත්ව අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීම උදෙසාම 2016 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ හරහා පාසල් දරුවන්ගේ ලිංගික නැඹුරුව සහ අධ්‍යාපනය පිළිබඳව අවධානයට ලක්වීය. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලක යි. මෙම සමීක්ෂණය සඳහා අහඹු ලෙස දිවයිනම ආවරණය වන ලෙස පාසල් 294ක් තෝරාගෙන තිබූ අතර, 2776ක් දරුවන් සමීක්ෂණයට භාජනය කෙරිණි. විදුහල්පතිවරුන් 176ක් ද, සෞඛ්‍ය අධ්‍යාපන විෂය භාර ගුරුවරු 276ක් ද, දෙමාපියන් 990ක් ද මේ සමීක්ෂණය සඳහා දායක කරගෙන ඇත. 

මෙහි සමීක්ෂණ වාර්තාවේ යෝජනාවන්ට අනුව දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය පාසලක ගුරුවරුන්ට පවරා ඇත. දෙමව්පියන්ට ද ඒ වගකීමෙන් මිදිය නොහැකිය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනු, ලිංගිකත්වය පිළිබඳ ඥානමය, නෛතික හා සමාජ සාධක සම්බන්ධයෙන් විෂය මාලාවක් ඔස්සේ සිදුකරනු ලබන ඉගැන්වීම් ක්‍රියාවලියකි.

“ලිංගික අධ්‍යාපනය දීම ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් නොවේ — එය දරුවන් ආරක්ෂා කිරීමකි.”

ලිංගිකත්වයන් තවදුරටත් රහසක් නොවිය යුතු ය. ලිංගිකත්වය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් යෞවන  තරුණය ප්‍රජාවට  ලබාදීම අතිශයෙන්ම වැදගත් ය. යමක් රහසක් වූ විට ඒ පිළිබඳව ඇතිවන කුතුහලය ඉහළ යයි. නමුත් අදාළ කාරණා ප්‍රසිද්ධියේ උගන්වන්නේ නම්, අදාළ කාරණා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නම් දරුවන් රහසිගත, අවිධිමත් මාර්ගයන් හරහා එම කරුණු ගවේශනය කිරීමට යොමු නොවේ. සදාචාරය හෝ සංස්කෘතියට මුවා වෙමින් තවදුරටත් ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අතපසු නොකළ යුතු ය. එලෙස අතපසු කරන මොහොතක් පාසා තරුණ දරුවකුගේ හෝ දැරියකගේ යහපැවැත්මට බාධා වීමට හැකි බව ද අමතක නොකළ යුතු ය.

Exit mobile version