NextWatch

සාලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනිකද ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ, රටේ වාණිජ අග නගරය වන කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්ථා විය. අඩුම තරමේ විදේශිකයන් 45 ක්, පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මෙහිදී මරණයට පත් වූ අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබීය. මීගමුව, මඩකලපුව සහ කොළඹ පිහිටි පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතර තුරය. ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් ය.



අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.

එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.

ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.

එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතාව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.

සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.

සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.

බ්‍රිතාන්‍ය චැනල් 4 වාර්තා චිත්‍රපටියෙන් හෙළි වූයේ මොනවා ද?

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.

ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.

2023 දී බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවේ ඩිස්පැචස් වැඩසටහනේ කොටසක් ලෙස විකාශය වූ මෙම වාර්තා චිත්‍රපටය, තොරතුරු හෙළි කරන්නන්ගේ සාක්ෂි මත පදනම් වූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු වන හංසීර් අසාද් මවුලානා, සලේ මාරාන්තික ප්‍රහාර සංවිධානය කිරීමට සම්බන්ධ ප්‍රධාන චරිතයක් ලෙස නම් කළේය.



”පැහැදිලි සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙනවා”

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට බදාදා (පෙබ. 25) පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, “උදෑසන 7:50ට පෑලියගොඩ පොලිස් වසමේදී” රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව ය.

“මේ අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ, විශේෂයෙන් ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල ප්‍රතිඵලවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි,” ඔහු පැවසීය.

”සම්පූර්ණ හේතුව මොකක් ද කියන දේ මට මේ වෙලාවේ කියන්න හැකියාවක් නැහැ”

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීහු හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අත්අඩංගුවට ගත් හේතුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඔහු අත්අඩංගුවට ගත් “සම්පූර්ණ හේතුව” ප්‍රකාශ කළ නොහැකි බවත් එය ප්‍රකාශ කළ හැක්කේ විමර්ශන අනුව බව ත් ය.



Exit mobile version