NextWatch

සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කරන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බව එම දෙපාර්තමේන්තුව ඊයේ (මාර්තු 5 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ මෙම දැනුම්දීම කළේය.

සැකකාර සුරේෂ් සලේ ඉකුත් 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සිද්ධියේ තුන්වන සැකකරු ලෙස මොහු නම් කරන බවත් එම දෙපාර්තමේන්තුව නිලධාරීහූ අධිකරණයට දන්වා සිටියහ.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේදැයි විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ නිරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසත් මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය හා බැඳුණු වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම, සයින්දමරදු ප්‍රදේශයේදී බෝම්බයක් පුරා යාම ඇතුළු සිද්ධින් ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

Exit mobile version