NextWatch

අර්බුදයට මුහුණ දෙන්න රජය ගත් තීරණ මොනවා ද?

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කාර්යාල, පාසල් හා විශ්වවිද්‍යාල සඳහා බලපාන ලෙස සෑම සතියක ම අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සතියේ සෑම බදාදා දිනක් ම විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ අනෙකුත් බලධාරීන් වත්මන් තත්ත්වය පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී තීන්දු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අද (මාර්තු 16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

අනෙකුත් දිනවල රජයේ කාර්යාලවලට කැඳවන සේවකයන් සංඛ්‍යාව හා සේවකයන් රාජකාරී සඳහා ගෙන්වන ආකාරය සම්බන්ධව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අදාළ බදාදා නිවාඩු දිනය සෞඛ්‍ය, වරාය, ජලය හා රේගුව වැනි අත්‍යවශ්‍යයෙන් ම ක්‍රියාත්මක විය යුතු ආයතනවලට අමතර නිවාඩු දිනය අදාළ නොවන බව ද අතවශ්‍ය කොමසාරිස්වරයා පැවසීය.

එමෙන් ම, රජය විසින් සංවිධානය කරනු ලබන සියලු උත්සව නතර කිරීමට ද තීරණය කර තිබේ.

සංචාරක, කර්මාන්ත, සෞඛ්‍ය හා වැවිලි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගණනය කර, එසේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.

රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්, බලශක්ති කමිටුව, විජිත් හේරත් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙන් ම බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධීක්ෂණය කිරීමට කමිටුවක් සහ විවිධ සමාජ ශුභසාධන සඳහා උපාලි පන්නිල ඇමතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළ බව අත්‍යවශය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.

අමාත්‍යංශ ලේකම්වරුන් සහ අත්‍යවශ්‍ය නිලධාරීන් එම කමිටුවල සෙසු සමාජිකයින් වන අතර, එම කමිටු විසින් රටේ පවතින තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු කරගෙන යනු ලබන බවත් ඔහු සඳහන් කළේ ය.

Exit mobile version