NextWatch

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ චීන ජාතිකයින් පිටුවහල් කෙරේ

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු පිටුවහල් කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කළේ, චීන රජය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරටින් එවන ලද විශේෂ ගුවන් යානයක් යොදාගෙන අදාළ පිරිස පිටුවහල් කළ බවය.

පසුගිය 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරමින් සිටියදී අදාළ චීන ජාතිකයින් ඇතුළු විදෙශිකයින් පිරිසක් යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක සහ ව්‍යපාරික වීසා මත අදාළ චීන ජාතිකයින් මෙරටට පැමිණීමෙන් අනතුරුව ආගමන විගමණ නීති උල්ලංඝනය කරමින් රැදී සිට ඇති බවයි.

අනතුරුව ඔවුන් ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි අතර චීන රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

ඒ සදහා චීන ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සදහන්. 

ඊයේ රාත්‍රියේ අදාළ චීන ජාතිකයින් පිටුවහල් කර ඇති අතර ඔවුන් සමග මෙරට ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වේ.


 

Exit mobile version