නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම අද (08) සිදු කෙරුණි.
ඒ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණු අතර ජනතාවට වැඩි පහසුකම් සහිතව බස්නැවතුම්පොළ නවීකරණයට ලක් කිරීම මෙහි අරමුණ වී තිබුණි.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ බස් නැවතුම්පොළේ ගොඩනැගිලි නවීකරණය කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, හා අවට අලංකරණය යනාදිය සිදුකර තිබේ.
මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.
මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීමේ කටයුතු ද හෙට (09) ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරෙන එම නවීකරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් බිලියන 2.1කට අධික වන අතර නවීකරණ කටයුතු මාස 15ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.
