රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ මුදල් කටයුතු පාලනය කළ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු වන දිනේෂ් කුමාරගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහි දී එම දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ සැකකාර කපු මහතාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 30 අධික මුදලක් සංසරණය වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව සඳහන් කළේය.
මෙම සැකකරු “ලොකු පැටී” සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවත් ලොකු පැටි නමැත්තා නීති විරෝධී ආකාරයට උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය කිරීමේ කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන පවත්වා ඉදිරියේදී ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයට නියම කළේය.
