ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රථම වරට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අපරාධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි රැකවල් මධ්‍යයේ යි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති සුරේෂ් සලේ, සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙලෙස ඔහු ප්‍රථමවරට මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබ තිබුණා.
කෙසේ නමුත්, අද පැවති නඩුකරයේ දී මහේස්ත්‍රාත්වරයා සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන මැයි මස 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ අතර, සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් භාරයේ රඳවා තබාගැනීම සඳහා අවසරය ද ලබා දෙනු ලැබුවා.
මෙම නඩුව යළි මැයි 20 වන දින කැඳවීමට නියමිතයි.
