ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.
වයස අවුරුදු 7න් ඇරඹි ගායන දිවිය
1958 ජූනි 11 වන දා නුගේගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ මරියසෙල් ගුණතිලක සිය සංගීත දිවිය ආරම්භ කළේ, වයස අවුරුදු 7දී ය.
ඇය නුගේගොඩ, ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය.
වයස අවුරුදු 10දී ඇය 1970 වසරේ පැවති Sunday Observer Talent Search නමැති ගායන තරගයේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහිකාව වූවා ය.
එම ජයග්‍රහණයෙන් පසුව යොවුන් සංගීත කණ්ඩායමක් වූ Junior Rhythmiers සමග එක්වීමට අවස්ථාව උදා විය.
60 දශකයේදී එම සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රසිකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව, Emeralds සහ The Midnight Mist යන සංගීත කණ්ඩායම්වල ද ඇය ගායිකාවක ලෙස කටයුතු කළා ය.
ලක්ෂය ‘කැන්ඩි ළමිස්සි’
සිංහල සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, ‘කැන්ඩි ළමිස්සි’ ගීතය යි.
1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්‍රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඉන්පසු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මග පෙන්වීම යටතේ, ‘යොවුන් සිහින ලෝකේ’ ගීතය හරහා ඇයි තවදුරටත් ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනාදරයට පත්වූවා ය.
බයිලා ශෛලිය සමග බැඳී තිබූ ඇයගේ ගීත ගායනය, ආචාර්ය අජන්තා රණසිංහයන් රචනා කළ ‘සිහින නෙළුම් මල්’ ගීතය සහ වසන්ත කුමාර කොබවක රචනා කර, නවරත්න ගමගේ සංගීතවත් කළ ‘බිම්මලට පිපෙන්නට’ (සතිපූජා ටෙලිනාට්‍යය) යන ගීත හරහා වෙනස් මගකට අවතීර්ණ විය.
