NextWatch

මේ සංශෝධනය නිසා මට යන්න වුනොත් මම යනවා -ජනපති –

රටේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා ඕනෑම තනතුරක් හෝ ජීවිත අවදානමක් වුවද භාර ගැනීමට තමන් සූදානම් බවත්, තමන්ට හිමි විධායක බලය හෝ වෙනත් බලතල කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් භාවිත නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවේදීයි.

ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනත් තීන්දු හමුවේ තනතුර අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් එය භාරගෙන නික්ම යාමට තමන් සූදානම් බවත්, අවදානමක් නොගෙන රටේ වෙනසක් කළ නොහැකි බවත් ඔහු පැවසුවා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ,

“මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ඔබට යන්න වෙයි කියලා කිව්වා. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවාවල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධවෙන්නේ අවදානමක් දරාගෙන.

හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවටත් වග කියන්නෙත් ඔවුනුයි. හැබැයි මම පරීක්ෂණයේ යනවා. ඒ තුළ ජීවිත අවදානමක් පවතින බව මා දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්, ඒවා ඉතා හොඳින් භාරගෙන මට පිටත් වෙලා යන්න ලේසියි. ඒකට මං සූදානම්.”

Exit mobile version