NextWatch

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති මෙම ලිපිය හරහා ඇය අවධාරණය කර ඇත්තේ, තම පුත්‍රයා වසර 37ක දිගු කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් තම තරුණ විය මෙන්ම පවුල් ජීවිතයද කැප කරමින් රටට අමිල සේවයක් ඉටු කළ බවයි. වයෝවෘද්ධ මවක ලෙස තම පුතු මෙලෙස රැඳවුම් භාරයේ පසුවනු දැකීම තමාට දැඩි මානසික වේදනාවක් ගෙන දෙන කරුණක් බවද ඇය එහි පෙන්වා දී ඇත.

මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම පුත්‍රයාට එරෙහිව ක්‍රියාත්මක වන විමර්ශන නතර කරන ලෙස තමා කිසිසේත්ම බල නොකරන බවයි. ඔහුට එරෙහිව යම් චෝදනාවක් හෝ ඊට අදාළ සාක්ෂි පවතී නම්, ඒවා නිසි ලෙස විමර්ශනය කර සත්‍යය හෙළි කරගන්නා ලෙස ඇය ඉල්ලා සිටියි. එහෙත්, විමර්ශන තනිකරම සාක්ෂි මත පදනම් විය යුතු බවත්, සාක්ෂිවලට ආදේශකයක් ලෙස රැඳවුම් නියෝග භාවිත නොකළ යුතු බවත් පවසන ඇය, පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුර තම පුතුගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මාතෘ සෙනෙහසින් යුතුව කාරුණිකව ඉල්ලා ඇත.

මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා හමුවීමට ද අවස්ථාවක් ඉල්ලා ඇති සුරේෂ් සලේ මහතාගේ මව, තමා අපේක්ෂා කරන්නේ කිසිදු විශේෂ වරප්‍රසාදයක් නොව සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ යුක්තිය පමණක් බව අවධාරණය කර තිබේ. අවසාන වශයෙන්, තම පුත්‍රයාට නිදහස් පුද්ගලයෙකු ලෙස නීතිය ඉදිරියට ගොස් ඊට මුහුණ දීමට සාධාරණ අවස්ථාවක් සලසා දෙන ලෙස ද ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version