NextWatch

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ Visa-Free ගමන් අවසන් – සැප්තැම්බර් 15 සිට නව නීති.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට මෙතෙක් පැවති පහසුකම සැප්තැම්බර් 15 වැනිදා සිට අවසන් කිරීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2026 සැප්තැම්බර් 15 වැනිදා හෝ ඊට පසුව තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට ගමනට පෙර අදාළ වීසා බලපත්‍රය ලබාගැනීමට සිදුවනවා. මෙම වෙනස ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගත් තීරණයක් නොවන අතර, තායිලන්තයේ වීසා ප්‍රතිපත්තිය පුළුල් ලෙස සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස රටවල් 21ක පුරවැසියන් Visa Exemption වැඩසටහනෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංශෝධිත Visa Exemption සහ Visa on Arrival ක්‍රමවේද අගෝස්තු 31 වැනිදා Royal Gazette හරහා ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නව ක්‍රමවේද සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම ප්‍රතිපත්ති සංශෝධනය සඳහා තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මැයි මාසයේදී ලබාගෙන තිබෙනවා.

දැනට සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා රටවල් සහ ප්‍රදේශ 93කට තායිලන්තයට දින 60ක් දක්වා වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම ලබාදී තිබෙනවා. එම ක්‍රමවේදය 2024 ජූලි මාසයේදී හඳුන්වා දී තිබූ අතර, නව සංශෝධනය යටතේ Visa Exemption පහසුකම හිමිවන රටවල් සංඛ්‍යාව දළ වශයෙන් 60ක් දක්වා අඩු කිරීමටත්, එම රටවල සංචාරකයින්ට වීසා රහිතව රැඳී සිටිය හැකි කාලය දින 60 සිට දින 30 දක්වා අඩු කිරීමටත් තීරණය කර ඇත.

කෙසේ වෙතත්, යම් රටක් සාමාන්‍ය Visa Exemption ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් එම රටේ සියලුම පුරවැසියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව අනිවාර්යයෙන්ම අදහස් නොවන බව තායි බලධාරීන් සඳහන් කර තිබෙනවා. තායිලන්තය සහ අදාළ රටවල් අතර පවතින ඇතැම් ද්විපාර්ශ්වික ගිවිසුම් මත කෙටි කාලීන වීසා රහිත ගමන් පහසුකම් තවදුරටත් ක්‍රියාත්මක විය හැකි බැවින්, තමන්ට අදාළ නීති වෙන වෙනම පරීක්ෂා කරන ලෙස සංචාරකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් සඳහා තායිලන්තයට වීසා අවශ්‍ය වන අවස්ථාවලදී අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා මාර්ගගතව පමණයි. කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් සාමාන්‍ය ආකාරයෙන් වීසා අයදුම්පත් භාරදීමේ ක්‍රමයක් නොමැති අතර, අයදුම් කිරීම සහ ගෙවීම් ඇතුළු ක්‍රියාවලිය මාර්ගගතව සිදුකළ යුතු බව තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් සඳහා Tourist Visa අයදුම්පතක් සැකසීමට අවශ්‍ය සියලුම ලේඛන නිසි ලෙස ඉදිරිපත් කළ පසු සාමාන්‍යයෙන් වැඩකරන දින 3ත් 7ත් අතර කාලයක් ගත විය හැකි බව තායිලන්ත තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා. Non-Immigrant Visa සහ Destination Thailand Visa හෙවත් DTV වැනි වීසා වර්ග සඳහා අමතර සැකසුම් කාලයක් අවශ්‍ය විය හැකි බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ වලංගු රැකියා හෝ පදිංචි බලපත්‍ර සහිත විදේශිකයන්ගේ වීසා අයදුම්පත් සඳහාද අමතර කාලයක් ගත විය හැකියි. අවශ්‍යතාව මත අමතර ලේඛන ඉල්ලා සිටීමටත්, එක් එක් අයදුම්පත අනුව අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමටත් තායිලන්ත තානාපති කාර්යාලයට හැකියාව පවතින බව දැනුම් දී තිබෙනවා.

මේ අතර, දැනටමත් තායිලන්ත සංචාරයක් සැලසුම් කර ඇති ශ්‍රී ලාංකිකයින්ට වැදගත් වන්නේ තායිලන්තයට ඇතුළුවන දිනයයි. සැප්තැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකිකයින්ට එම අවස්ථාවේ ක්‍රියාත්මක වන දින 60ක Visa Exemption ක්‍රමය යටතේ ඇතුළුවීමට හැකි වන අතර, පැමිණීමේදී ලබාදෙන අවසරය අනුව හිමිවන රැඳී සිටීමේ කාලය භුක්ති විඳීමට හැකියාව පවතිනවා.

එහෙත් සැප්තැම්බර් 15 වැනිදා සිට තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකිකයින් සඳහා නව නීති අදාළ වන බැවින්, ගමනට පෙර අදාළ වීසා බලපත්‍රය ලබාගැනීම අත්‍යවශ්‍ය වනවා.

තායිලන්ත රජය මෙම වීසා ප්‍රතිපත්ති සංශෝධනය සිදුකර ඇත්තේ ජාතික ආරක්ෂාව, සංචාරක සහ ආර්ථික අවශ්‍යතා, අනෙකුත් රටවල් සමඟ පවතින අන්‍යෝන්‍ය වීසා ප්‍රතිපත්ති, එකිනෙකට සමාන හෝ අතිරික්ත වීසා පහසුකම් සහ තායිලන්තයේ e-Visa ක්‍රමය වඩාත් පුළුල්ව ලබාගත හැකි වීම ඇතුළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන් කර තිබෙනවා.

තායිලන්ත තානාපති කාර්යාලයද සංචාරකයින්ට නව වීසා නීති සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයන් හරහා ලැබෙන තොරතුරු වෙනුවට තායිලන්ත රජයේ සහ කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයේ නිල තොරතුරු මත විශ්වාසය තබන ලෙස දන්වා සිටියී

The Royal Thai Embassy in Colombo published its “New Visa Measures” notice on September 4 following the announcement of the revised regulations https://colombo.thaiembassy.org/en/index

Exit mobile version