මැලේරියාව සහ මව්වරුන්ගේ මෙන්ම අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම යන රෝග තත්ත්වයන් මෙරටින් සාර්ථකව තුරන් කර, එම තත්ත්වය අඛණ්ඩව වසර 10ක් පුරා පවත්වාගෙන යාමේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ. ටිමෝර්-ලෙස්තේ හිදී පැවති WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා විසින් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම සහතිකය නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
2016 වසරේදී මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කෙරුණු ශ්‍රී ලංකාව, මාලදිවයිනට පසු එම තත්ත්වයට පත් වූ කලාපයේ දෙවන රටයි. ඊට අමතරව රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ (Tetanus Toxoid) වැඩසටහන හරහා මව්-බිළිඳු පිටගැස්මද සාර්ථකව පාලනය කර ඇත.
ශ්‍රී ලංකාව සතු ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග පාලන ක්‍රමවේද මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය අඛණ්ඩව රැකගැනීමට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී විශේෂයෙන් පෙන්වා දී තිබේ. මෙය හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ජීවිත සුරක්ෂිත කරන සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇත.
