2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත තවත් රුපියල් මිලියන 2,500 ක අරමුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම අරමුදල් ලබාදීම සිදුවන්නේ 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇති රුපියල් මිලියන 7,500 ක අමතර ප්‍රතිපාදන අතුරිනි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත මෙම මුදල වී අලෙවි මණ්ඩලය වෙත නිදහස් කිරීමට නියමිතය.
යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 6,000 ක මුදලක් වී අලෙවි මණ්ඩලය වෙත ලබාදී ඇති අතර, එම ප්‍රතිපාදන යොදා ගනිමින් දිවයින පුරා වී මිලදී ගැනීම් දැනටමත් සක්‍රීයව සිදු කෙරෙමින් පවතී.
කෙසේ වෙතත්, ඉදිරියේදී සිදු කිරීමට නියමිත වී මිලදී ගැනීම් සඳහා දැනට ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති බැවින්, ගොවීන්ගේ අස්වනු අඛණ්ඩව මිලදී ගැනීම සහතික කිරීම සඳහා මෙලෙස අමතර රුපියල් මිලියන 2,500 ක මුදලක් අලුතින් වෙන් කිරීමට පියවර ගෙන ඇත.
