හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.ඇය සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් අලුයම 1.10ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් ඇති අතර, ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය බව පැවසෙන ඇන් ද ලිවේරා මහත්මියද ගමන් කර තිබෙනවා.
මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ‘සිරිලිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අදාළ විමර්ශනයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය පවත්වාගෙන ගිය ගිණුමකට රුපියල් මිලියන 10ක මුදලක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. එම මුදල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් එකතු කළ මුදල්වලට අදාළ බවට සඳහන් වන අතර, එම රෝහලට චීන රජය විසින් සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමිලේ ලබාදී තිබීම හේතුවෙන් එකතු කළ මුදල් සම්බන්ධයෙන් විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවද වාර්තා වුණා.
