NextWatch

දිට්වා බලපෑමෙන් නායයෑම් පූර්ව ලක්ෂණ

දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ප්‍රදේශ කිහිපයක නායයෑම් පූර්ව ලක්ෂණ මතුපිටින් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පෙන්වා දුන්නේ, පසුගිය දිනවල පැවැති වර්ෂාපතනයත් සමඟ ඇතැම් ස්ථානවල මෙලෙස අවදානම් තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බවයි. විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටු බලපෑම හමුවේ නායයෑමට ලක්නොවූ, එහෙත් පස් සහ ගල් පහළට ගලාවිත් තැන්පත්ව ඇති ස්ථාන දැඩි වර්ෂාවත් සමඟ ක්ෂණික නායයෑම්වලට ලක්වීමේ හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ දැඩි ලෙස කල්පනාකාරී වන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නායයෑම් අවදානම් පවුල් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ, ඉකුත් වසර 15ක කාලය තුළ අධි අවදානම් සහිත පවුල් 15,000ක් පමණ හඳුනාගෙන තිබූ අතර, ඉන් පවුල් 5,000ක් පමණ නැවත පදිංචි කිරීමේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටු සිදුවීමත් සමඟ අලුතින් අධි අවදානම් පවුල් 16,793ක් හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මේ වන විට රට තුළ නායයෑම් අධි අවදානමට ලක්වූ සමස්ත පවුල් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගොස් තිබේ.

මේ හේතුවෙන් යම් ප්‍රදේශයකට තද වර්ෂාපතනයක් ලැබෙන්නේ නම්, නායයෑම් අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා වහාම සුරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version