NextWatch

නාමල් සහ එයාර්බස් සමාගම අතර ඊමේල් ගනුදෙනු අධිකරණයට.

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම විමර්ශනය එයාර්බස් ගනුදෙනුව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් මත පදනම් වී ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වූ මුදල් සංසරණය වූ ආකාරය පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අදාළ ඩොලර් මිලියන 2ක මුදල පළමුව සිංගප්පූරුවේ පිහිටි ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තියට අයත් ‘බිස් සොලියුෂන්’ සමාගමේ ගිණුමට බැර වී ඇති බව සඳහන් කළේය. ඉන් අමෙරිකානු ඩොලර් මිලියනයක් ඔස්ට්‍රේලියාවේ සිටින හිටපු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ගිණුමටත්, තවත් රුපියල් මිලියන 25ක මුදලක් සිංගප්පූරුවේ ‘SL Agro’ සමාගම හරහා නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් බැර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, ‘බිස් සොලියුෂන්’ ගිණුමෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක (800,000) මුදලක් ඔස්ට්‍රේලියාවේ සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට අයත් ‘සේවර් විෂන්’ සමාගමේ ගිණුමට බැර වී ඇති අතර, ඉන් රුපියල් මිලියන 100ක මුදලක් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා අල්ලස් කොමිසමට ලබාදුන් ප්‍රකාශයක සහ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන බවද අධිකරණයට දැනුම් දෙන ලදී. මීට අමතරව, පරීක්ෂණ හරහා ලබාගත් ඊමේල් පණිවුඩ මගින් නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගමේ නිලධාරීන් අතර සෘජු සබඳතා පැවති බව තහවුරු වී ඇතැයිද පැමිණිල්ල කියා සිටියේය.

විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වීමේ අවදානමක් ඇති බැවින් නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට පැමිණිල්ල එහිදී දැඩිව විරෝධය පළ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැමිණිල්ලේ චෝදනා ප්‍රතික්ෂේප කළේය. සිය සේවාදායකයා මෙරට දේශපාලනයේ නිරත වන අයෙකු බැවින් ඔහු රටින් පලා යනු ඇතැයි උපකල්පනය කළ නොහැකි බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කිසිදු කරුණක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම, මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් නිමල් පෙරේරා මහතාට පැවසිය හැකි පහසුම දෙය නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බව යැයි ප්‍රකාශ කළ නීතිඥවරයා, සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඇප ලබාදීම සම්බන්ධ තීන්දුව සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දන්වමින්, එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Exit mobile version