NextWatch

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමේ පනතට කථානායක සහතිකය.

ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට කථානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ලබාදී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අගෝස්තු 4 වැනිදා ඉදිරිපත් කර ඇති අතර, සැප්තැම්බර් 9 වැනිදා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණා. අනතුරුව එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කර තිබෙනවා. මෙම නීතිය මගින් 2009 අංක 35 දරන ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කෙරෙන අතර, ඒ සමඟ ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සමග එම කාර්යාලයද අහෝසි වීමට නියමිතයි. කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, නව නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු ආරක්ෂක විෂය භාර අමාත්‍යාංශය වෙත පවරන බව පාර්ලිමේන්තුව සඳහන් කළා.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබුණා. ත්‍රිවිධ හමුදාවන් අතර මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම, ඒකාබද්ධ මෙහෙයුම් මූලධර්ම සංවර්ධනය කිරීම සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු ඒකාබද්ධ කිරීම මෙම තනතුරේ ප්‍රධාන වගකීමයි.

ඒ අනුව, මේ වනවිට 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත බලාත්මක වීමට අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබෙනවා.

Exit mobile version