ඉදිරියේදී ඉන්ධන මිල වෙනස් කිරීමක් හෝ රජය මඟින් සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.
පසුගිය දිනවල පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් විසින් වෙළෙඳපොළට සපයන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම නිසා ඇතැම් පිරවුම්හල්වල හිඟයක් මතුවූ බව පෙන්වා දුන් සභාපතිවරයා, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා පසුගිය සතියේ අදාළ සමාගම් කැඳවා සාකච්ඡා කළ බව පැවසීය. එහිදී තමන් ලබන දැවැන්ත මූල්‍ය පාඩුව පිළිබඳව එම සමාගම් රජයට තොරතුරු වාර්තා කර ඇත.
එම දත්තයන්ට අනුව, RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් ලබන බව පෙන්වා දී තිබේ. මීට අමතරව Sinopec සමාගම ඩීසල් ලීටරයකට රුපියල් 192ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 67ක්ද, LIOC සමාගම ඩීසල් ලීටරයකට රුපියල් 136ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 57ක්ද වශයෙන් පාඩු ලබන බව වාර්තා වී ඇත.
රජයට ජාතික වගකීමක් පැවතුණ ද, ව්‍යාපාරික පදනම මත ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගම්වලට දිගින් දිගටම මෙලෙස පාඩු ලබමින් ඉන්ධන සැපයිය නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ගිවිසුම් ප්‍රකාරව නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම් එය රජය විසින් පියවිය යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන ද පවතී. ඒ අනුව අදාළ සමාගම්වලට පාඩු නොවන පරිදි ඉන්ධන අලෙවි කිරීමට ඉඩදීම හෝ රජයේ සහනාධාරයක් ලබාදීම කෙරෙහි මෙසේ අවධානය යොමුව තිබේ.
