NextWatch

ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිත ප්‍රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්!

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟ සහ නිල්වලා ගඟ ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් රැසකට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (24) අලුයම 2.30 ට නිකුත් කළ මෙම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (25) අලුයම 2.30 දක්වා බලාත්මක වනු ඇත.

මේ වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට අඛණ්ඩව සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, ගංඟා ජල මාපකවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව, තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් වලට මෙම සුළු ගංවතුර තත්ත්වය බලපානු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

එයට සමගාමීව, නිල්වලා ගඟ ද්‍රෝණිය තුළ සිදුකළ ජල මට්ටම් විශ්ලේෂණයන්ට අනුව, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ ද මෙම ගංවතුර අවදානමට ලක්ව තිබේ.

ධාරා ප්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්ෂා කරන බැවින්, ඉහත සඳහන් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන මහජනතාවට සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Exit mobile version