NextWatch

ඥානසාර හිමිගේ සිර දඬුවම් නඩුවට අදාළ මෝසම අද යළි කැඳවෙයි.

ජනාධිපති සමාව අහෝසි වීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ මෝසමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම මෝසම මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර, එම අවස්ථාව සඳහා ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම විශේෂත්වයක් විය.

එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කර සිටියේ, සිය සේවාදායක හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවයි. එබැවින් අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර, කරුණු දැක්වීම සඳහා තමන්ට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ මෙය අපරාධ නඩුවක් බවයි. එබැවින්, විත්තිකරු අධිකරණය මඟහරින්නේ නම් හෝ අධිකරණයට නොපැමිණෙන්නේ නම් වහාම වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමට ඉඩ ලබා දෙමින් නඩුව සලකා බැලීම ස්වල්ප වේලාවකට කල් තැබීමට තීරණය කළේය.

Exit mobile version