පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව, උන්වහන්සේට එරෙහිව පවතින සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම සලකා බලන ලද අතර, ඒ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවාදායක හිමිනම අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා ඊට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙය අපරාධ නඩුවක් බැවින් විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙසයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා අධිකරණය හමුවේ පමුණුවන ලෙස දන්වමින් පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
