NextWatch

හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

හෙට (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන්ම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 සීමාව ඉක්මවා යන තරමක තද වැසි පතිත විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මීට අමතරව, බස්නාහිර පළාත ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ කලාපයන්හි උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව හමන තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි උද්‍රව හා අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Exit mobile version