ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළ පරීක්ෂණවල සැකකාරියක වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇගේ ඇපකරුවන් තැබූ ඇප මුදල් රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග ප්‍රකාශයට පත් කළේය.
අදාළ සැකකාරිය වෙනුවෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇපකරුවන් ලෙස පෙනී සිට තිබුණි.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතා ඇතුළු ඇපකරුවෝ දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියහ. එහිදී ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, අද දින රුපියල් මිලියන 20ක මුදලක් ගෙවීමට සූදානම් බවයි.
ඉදිරිපත් වූ කරුණු අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරයා, අද දින රුපියල් මිලියන 20ක මුදල අධිකරණයට භාරදෙන ලෙසත්, ඉතිරි මිලියන 20ක ඇප මුදල එළඹෙන ඔක්තෝබර් 17 වැනිදාට පෙර ගෙවා නිමකරන ලෙසත් නියෝග කළේය.
සැකකාර ප්‍රියංකා නියෝමාලි මහත්මිය දැනට අධිකරණය මඟහැර සිටින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
