ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
කොමිසමේ නිලධාරීන් නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි ජයසුන්දර මහතාගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විමර්ශනයට අදාළ ගනුදෙනුව 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් එයාර්බස් සමාගමෙන් A330-300 ගුවන් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙනුයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර හිටපු ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇතුළු පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එම විමර්ශනවලදී ගනුදෙනුවට අදාළව මුදල් හුවමාරු සිදුවූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවට කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
