NextWatch

ටිරාන් අලස් ඇතුළු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක්!

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු ‘සිලෝන් නිවුස්පේපර්ස්’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ තීරණයට අනුව මෙම නියෝගය ලබන 21 වන දා දක්වා බලපැවැත්වෙනු ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

‘මව්බිම’ ඇතුළු පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි ලබාගැනීම වෙනුවෙන් වගඋත්තරකාර කේසර ලංකා පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් මෙම පෙත්සමට පදනම් වී තිබේ.

පෙත්සම්කාර සිලෝන් නිවුස්පේපර්ස් සමාගම පෙන්වා දෙන්නේ, සිය සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව කේසර ලංකා සමාගම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කර ඇති බවයි. ඉන් අනතුරුව අදාළ වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලක් හේතුවෙන්, සිලෝන් නිවුස්පේපර්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

Exit mobile version