NextWatch

නියමිත දිනට නොආවොත් ශිරන්ති ලංකාවට ආ සැණින් අත්අඩංගුවට ?

‘සිරිලිය’ පදනමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට ලබා දී ඇති දින 14ක කාලය අවසන් වීමට පෙර නොපැමිණියහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි පවසමින් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය රාජපක්ෂ මහත්මියට, සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙසට වන දැනුම්දීම ගුවන්තොටුපළේදී භාරදී තිබුණි. කෙසේ වෙතත්, ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඇය විසින් දින 14ක කාලයක් ඉල්ලා සිටින ලදී.

ලබා දී ඇති එම කාලසීමාව තුළ ඇය පෙනී සිටීමට අපොහොසත් වුවහොත් අධිකරණය මඟින් විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට පොලිසිය සූදානම් වන අතර, එමඟින් ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඇය නැවත පැමිණීම සඳහා තාවකාලික දිනයක් දැනුම් දී තිබුණද, එම දිනය ඇගේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවලට අනුව වෙනස් විය හැකි බවයි.

Exit mobile version