NextWatch

IMF 7 වන සමාලෝචනය සාර්ථකයි: ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 345ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා මේ වනවිට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

මෙම එකඟතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ පසු, ශ්‍රී ලංකාවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනු ලබයි.කෙසේ වෙතත්, මෙම අවසන් අනුමැතිය ලැබීමට පෙර 2027 අයවැය වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව අරමුදල පවසයි.

අඛණ්ඩ ආර්ථික කම්පන මැද වුවද ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වා ඇති බව IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව, 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.2%කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව ආර්ථික වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව වෙයි.එසේම, 2026 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 8%ක තනි ඉලක්කම් මට්ටමක පවත්වා ගෙන ඇති අතර, අගෝස්තු අග වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.මීට අමතරව බැංකු පද්ධතිය ලාභදායී මට්ටමක පවතින බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති බවත් අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.

එහෙත් මැද පෙරදිග යුද්ධය, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

මැද පෙරදිග අර්බුදය දිගුකාලීනව පැවතුනහොත් ජාත්‍යන්තර වෙළෙඳපොළට සාපේක්ෂව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බවත්, එහිදී අඩු ආදායම්ලාභීන් ඉලක්කගත මුදල් සහන මඟින් ආරක්ෂා කළ යුතු බවත් අවධාරණය කර ඇත.

උද්ධමනය යළිත් ඉහළ ගියහොත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම් විය යුතු බවද, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සහ දූෂණ විරෝධී නීති තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවද IMF නියෝජිතයන් පෙන්වා දී තිබේ.

සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට පැවති IMF දූත මෙහෙයුමෙන් පසු, මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ මාර්ගගත සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.

Exit mobile version