NextWatch

ඥානසාර හිමිට ඉතිරි වසර 5යි මාස 5ක සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඥානසාර හිමියන්ට ඉතිරිව ඇති වසර 5යි මාස 5ක සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණය නියෝග කළා.

විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ ඥානසාර හිමියන් ඔක්තෝබර් 3 වැනිදා කළුතර තිනියාවල ආරණ්‍ය සේනාසනයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඊයේ (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර තිබුණා.

2018 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හතරකට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබූ අතර, එය වසර හයකින් එකවර ගෙවී යන පරිදි නියම කර තිබුණා.

කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් හේතුවෙන් එම දඬුවම අතරමඟ නතර වී තිබුණා.

පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවට තීන්දු කිරීමෙන් පසුව, ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ කටයුතු ආරම්භ වුණා.

අද අධිකරණ නියෝගය අනුව ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම බන්ධනාගාර බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Exit mobile version