NextWatch

බැසිල්ගේ මාතර ඉඩමට තහනමක්.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමේ පරිහරණය අත්හිටුවීමට පියවර ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි මෙම අක්කර එකහමාරක පමණ විශාලත්වයකින් යුත් පොල් ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. වාර්තා වන පරිදි ජර්මන් ජාතික හර්බට් කෙලර් නමැත්තෙකුට අයත්ව තිබූ මෙම ඉඩම රුපියල් මිලියන 60ක මුදලකට හිටපු අමාත්‍යවරයා විසින් මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම ඉඩම මිලදී ගැනීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අවස්ථා කිහිපයකදීම පෙනී නොසිටීම හේතුවෙන්, බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත්, ඔහුගේ ඇපකරුවන්ගෙන් එම මුදල් අයකර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා මීට පෙර අවස්ථාවක නියෝග කර තිබුණි.

1970 වසරේදී බෙලිඅත්ත මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් දේශපාලනයට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා, දේශපාලන ලෝකයේ ‘ඔටුන්න හිමි කුමරා’ ලෙස කලක් හැඳින්වුණු අනුර බණ්ඩාරනායක මහතාගේ සමීපතමයෙකු ලෙසද කටයුතු කළේය. 1977 මැතිවරණ පරාජයෙන් පසු හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පිහිටුවාගත් නව පක්ෂයේ මහලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කර තිබේ.

Exit mobile version