අධිකරණ තුනකින් වරෙන්තු නිකුත් කර තිබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ බැංකු නිලධාරියෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය ප්‍රදේශයේ පදිංචි දමිත් අන්ජන වනිගසේකර නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නියෝගයකට අනුවයි.
පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර ඇති බව දැන සිටියදී සැකකරු සිය මෝටර් රථයෙන් උන්වහන්සේ රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
