හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට අද (07) මාතර මහාධිකරණයේදී අධි චෝදනා භාරදී තිබෙනවා. ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනාම අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඔවුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2.5 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඇපකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවටද ඇප කොන්දේසි පනවා තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
