හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව නම් කර සිටි පියත් නිකේෂල සහ ජේ. ශ්‍රී රංගා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නීතිපති උපදෙස් මත අධිකරණය විසින් නිදහස් කර තිබේ.
2022 මැයි මාසයේ පැවැති ජන අරගලය අතරතුරදී කොළඹ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ඇතුළු පිරිසක් මෙලෙස නිදහස් කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අදාළ සැකකරුවන් හයදෙනා නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම සිදුවීමට අදාළ නඩුවෙන් මීට පෙර අවස්ථාවලදී ද නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව, මෙම නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටි පුද්ගලයන් 29 දෙනාටම පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
