NextWatch

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේට නිදහස ලබාදෙන ලෙස බලකරමින් මහා සංඝරත්නය පෙරටු කරගත් විශේෂ අධිෂ්ඨාන පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි

මෙම පාගමන ආරම්භ කිරීමට ප්‍රථම මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පැවැත්වුණු අතර, අනතුරුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් පාගමන ආරම්භ කෙරිණි. මෙම පාගමන ඥානසාර හිමියන් සිරගත කර සිටින බන්ධනාගාරය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ, වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවයි. අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා හඬ අවදි කළා සේම, ඥානසාර හිමියන් ද හඬ නැඟුවේ රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ඥානසාර හිමියන් සිරගත කරනු ලැබුවේ උන්වහන්සේගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන බවත්, උන්වහන්සේ සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බවත් පැවසූ සුමංගල හිමියන්, උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බවද අවධාරණය කළහ.

උන්වහන්සේට නිදහස ලැබෙන තෙක් සහ මෙම අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වන සටන කිසිසේත්ම අත් නොහරින බව පැවසූ උලපනේ සුමංගල හිමියෝ, පවතින මර්දනය හමුවේ අහිංසාවාදීව මෙම පාගමන හා එක්වන ලෙස සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

Exit mobile version