ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව ක්‍රියාත්මක වන වෛරී ප්‍රචාර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන විසින් ඒකාබද්ධ නිවේදනයක් මගින් දැඩිව හෙළා දැක තිබේ.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා පාර්ශ්වය යන සංවිධාන එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව මාධ්‍ය අවකාශයන් අවභාවිත කරමින් ගෙන යන මෙවැනි ප්‍රචාර හේතුවෙන් ඇයගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ. එපමණක් නොව, රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරී දේශපාලන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් වීමට සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ද මෙය දැඩි බාධාවක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි
2018 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට අදාළව සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස බලපෑම් කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනුණු බව අදාළ නිවේදනයේ සිහිපත් කර ඇත. එදා එම සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැමිණිල්ල යොමු කරනු ලැබුවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර, එහිදී අගතියට පත් පාර්ශ්වය ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කටයුතු කළාය.
2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවමක් නියම වූ අතර, 2019 දී ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් කෙරිණි. කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන් එම ජනාධිපති සමාව අවලංගු වී යළිත් සිරගත වීමට උන්වහන්සේට සිදුවිය. මෙම සමස්ත නීතිමය ක්‍රියාවලිය තුළ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් වෛරයට හෝ ප්‍රචණ්ඩත්වයට ලක්විය යුතු කිසිදු ක්‍රියාවක් සිදුකර නොමැති බව මාධ්‍ය සංවිධාන තරයේ අවධාරණය කරයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියද, එම නිදහස භාවිත කරමින් පුද්ගලයන්ට තර්ජනය කිරීම හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔවුහු පවසති. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තියට අනුව ද, වෙනස්කම් කිරීම් හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් ඇති කරන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේෂය ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කළ යුතු බව මාධ්‍ය සංවිධාන සාමූහිකය පෙන්වා දෙයි.
ඒ අනුව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතරම, පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන සහ සමාජය තුළ වෛරය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන ප්‍රචාරණයන්ට එරෙහිව වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අදාළ මාධ්‍ය සංවිධාන යළිත් වරක් අවධාරණය කර සිටී.
